63 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 63 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය 2020 අගෝස්තු 19 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මෙහිදී ශිෂ්‍යභට නිලධාරීන් ඇමතූ නාවික හමුදාධිපති තුමන්, ශිෂ්‍යභට නිලධාරීන් හට නාවික හමුදාව වෙනුවෙන් සුභපැතුම් එක් කරමින් නාවික පවුලට උණුසුම් ලෙස පිළිගන්නා බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති තුමන්, ශිෂ්‍යභට නිලධාරීන් ලෙස නාවික හමුදාවට එක්වීමට ගත් තීරණය ඔවුන් ජීවිතයේ ගත් හොඳම තීරණය බවත්, අද දිනයේ සිට ශිෂ්‍යභට නිලධාරීන්ගේ ජීවිතයේ නව පැතිකඩක් විවර වන බවත් ඉදිරියේදී ඕනෑම අභියෝගයකට මුහුණ දියහැකි නාවික නිලධාරියෙකු ලෙස කායිකව හා මානසිකව හැඩගස්වන පුහුණුවක් ලබා දෙන බවත්, දුෂ්කර සහ අභියෝගාත්මක පුහුණුව වඩාත් ශක්තිමත් නිලධාරියෙකු ඉදිරියේදී බිහි කරනු ඇති බවත් පවසන ලදි. තවද, මාතෘ භූමියට සේවය කිරීම සඳහා තම දරුවන් නාවික හමුදාවට භාරදුන් ශිෂ්‍යභට නිලධාරීන්ගේ ආදරණීය දෙමාපියන් වෙත සිය හෘදයාංගම ස්තූතිය පුද කිරීමටද නාවික හමුදාධිපති තුමන් මෙහිදී කටයුතු කරන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමාපියන්ද සහභාගි වූහ.