මුලික පුහුණුව අවසන් කළ ආධුනික නාවිකයින් 362 ක් බූස්සේ දී විසිර යයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 240 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය හා ස්වේච්ඡා ආධුනික නාවිකයන් 362 ක් මූලික පුහුණුව නිමා කරමින් විසිර යාමේ උත්සවය 2020 අගෝස්තු 21 වන දින නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් බූස්ස, ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වුණි.

මෙම විසිර යාමේ උත්සවයේදී මූලික පුහුණුව තුළ විශේෂ දක්ෂතා දැක් වූ ආධුනික නාවිකයන් ඇගයීම සඳහා කුසලාන පිරිනැමීම සිදු කළ අතර, එහිදී 240 වන බඳවා ගැනීමේ දක්ෂතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නාවික, ඊඒසී රෝහිත එක්ස්එස් 118180 හිමි කර ගන්නා ලදි. එමෙන්ම සිය‍ළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් ආධුනික නාවිකයා ලෙස ආධුනික කාන්තා නාවික කේඑම්එස්කේකේ චන්ද්‍රසේකර ඩබ්එම් 118376, හොඳම ඉලක්කකරු ලෙස ආධුනික නාවික කේආර්ඊකේ පෙරේරා එල්එල්එල්ආර් 118342, හොඳම ක්‍රීඩකයා ලෙස ආධුනික නාවික එල්ජීඑස්ඩී කුමාර එක්ස්එච් 118235 සහ හොඳම ක්‍රීඩිකාව ලෙස ආධුනික කාන්තා නාවික ජීබීඑච්බී ධර්ම ශ්‍රී ඩබ්එච් 118385 යන ආධුනික නාවිකයන් කුසලාන හිමි කර ගන්නා ලදි. තවද, 240 වන බඳවා ගැනීමේ දක්ෂතම අංශයට හිමි කුසලානය “මිහිකත” අංශය වෙත පිරිනැමිණි.

මෙම විසිර යාමේ උත්සවය සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති, ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ ආඥාපති, නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් මෙන්ම විසිර යන ලද ආධුනික නාවිකයන්ගේ දෙමව්පියන්ද සහභාගී වී සිටියහ.