නාවික හමුදාධිපති තුමන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වෙයි.

බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යොත්සවය හා පෙරහැර මංගල්‍ය 2020 අගෝස්තු මස 19 දින සිට අගෝස්තු 23 වන දින දක්වා පැවත්වනු ලැබූ අතර, 2020 අගෝස්තු මස 22 දින පැවැත්වීමට යෙදුණු එහි පාවාඩ පෙරහැර වීදි සංචාර කරන ලද අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

මීට පෙර වර්ෂයන්හීදී දින 18ක් පුරාවට පැවැත්වෙන බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යොත්සවය හා පෙරහැර මංගල්‍ය මෙවර සෞඛ්‍ය උපදෙස් මත විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි චාරිත්‍ර විධිවලට පමණක් සීමා කරමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර, එම වාර්ෂික ඇසළ මහා පුණ්‍යොත්සවයේ පාවාඩ පෙරහැර මංගල්‍ය සඳහා විහාරාධිපති නාහිමිපාණන්ගේ ආරාධනාව පරිදි සහභාගී වූ නාවික හමුදාධිපති තුමන් විහාර මන්දිරයේ සිට ධාතු මන්දිරය දක්වා සර්වඥ ධාතු කරඬුව වැඩම කරවීමේ උතුම් අවස්ථාවටද සහභාගී විය.