නාවික හමුදාව මගින් යාපනය අර්ධද්වීපයේ පාසල් සිසුන් සඳහා මුහුදු සංචාරයක්

යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන පාසල් සිසු සිසුවියන් 161 දෙනෙකු සඳහා උතුරු මුහුදේ මුහුදු සංචාරයක් ලබා දීමට නාවික හමුදාව පසුගිය 2020 අගෝස්තු 30 දින කටයුතු කෙරිණි.

නාවික හමුදාව සතු තල්මසුන් නැරඹීමේ ව්‍යාපෘතිය සඳහා භාවිතා කරනු ලබන ඒ 543 යාත්‍රාව මගින් මෙම සිසු සිසුවියන් පිරිස මුහුදු සංචාරය සඳහා රැගෙන යන ලද අතර, මෙම මහඟු අවස්ථාව සඳහා එම සිසු දරුවන්ගේ ගුරුභවතුන් මෙන්ම දෙමාපියන් පිරිසක්ද සහභාගී වූහ. මෙහිදී එම සිසු සිසුවියන් හට සාගරික ජෛව පද්ධතිය පිළිබඳ දැනුම ලබාදීමක් මෙහිදී සිදු කල අතර, තහනම් ධීවර ක්‍රම මගින් එම සාගරික පරිසරයට වන විනාශය සම්බන්ධයෙන්ද එම සිසු සිසුවියන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

තවද, මෙම මුහුදු සංචාරය සියළු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් සංවිධානය කරන ලද අතර, මෙම සුවිශේෂි අවස්ථාව එම සිසු සිසුවියන් හට ඉතා නැවුම් අත්දැකීමක් වූවා පමණක් නොව, ශ්‍රී ලංකාවට අයත් කළාපයේ සාගර සම්පත් සහ එම සම්පත් සුරක්‍ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳව සුවිශෙෂී දැනුමක් ලබා ගැනීමටද හැකියාවක් ලැබුණි.