නාවික හමුදාධිපතිතුමන් වයඹ නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 අගෝස්තු මස 29 සහ 30 දෙදින වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ විජය, ශ්‍රීලංනානෞ තම්බපණ්නී, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානය, ශ්‍රීලංනානෞ භරණ සහ ශ්‍රීලංනානෞ ථේරපුත්ත යන ආයතනද, බත්තලංගුණ්ඩුව, ආනවාසල සහ අරිප්පු යන නාවික අණුකණ්ඩද නාවික හමුදාධිපති විසින් නිරීක්‍ෂණ චාරිකාවාරය සිදු කරන ලද අතර, විධානය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන් කිහිපයක් සඳහාද එතුමන් සහභාගී විය.

ඒ අනුව, නාවික හමුදාධිපතිතුමන් භරණ ආයතනය විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සහ කඩොලාන පැල සිටුවීමේ වැඩසටහනකට දායක වීමෙන් අනතුරුව, භරණ ආයතයේ අළුතින් ඉදිකරන ලද කාන්තා නාවික නිවාසය විවෘත කිරීම සිදු කරන ලදි. තවද, භරණ අයතනයේ අළුතිත් ඉදිකරනු ලබන නිලධාරී නිවාසය, කණිෂ්ඨ නාවික විවාහක නිවාස සංකීර්ණය සහ සේවා වනිතා සුභසාධක වෙළඳසැල හා යෝගට් ව්‍යාපෘතියද එතුමන්ගේ නිරීක්‍ෂණයට ලක් විය. ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී එතුමන් විසින් පුහුණු අභ්‍යාසයක් නිරීක්‍ෂණය කල අතර, මෙහිදී ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කණ්ෂ්ඨ නාවිකයන්ගේ නිවාසයන් නිරීක්‍ෂණය කරන ලදි.

එමෙන්ම, වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් ඇමතීම ශ්‍රීලංනානෞ භරණ සහ තම්බපණ්නි යන ආයතනයන්හිදී නාවික හමුදාධිපති තුමන් විසින් සිදු කරන ලද අතර, එහිදී කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සම්මත ක්‍රියා පිලිවෙත් තවදුරටත් අනුගමනය කිරීම, නාවික විනය සහ මනා පාලනය පවත්වා ගැනීම සඳහා අංශ ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ආයතනයන්ගේ දෛනික චර්යාවන් නිසිලෙස පවත්වා ගැනීම, නාවික පුද්ගලයින්ගේ ශාරීරික යෝග්‍යතාවය නිසිලෙස පවත්වා ගනිමින් ශරීර ස්කන්ද දර්ශකය නිසි පරිදි පත්වා ගැනීම සඳහා කටයුතු කලයුතු බව අවධාරණය කල නාවික හමුදාධිපති තුමන්, විශේෂයෙන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා බවත් මෙහිදි නාවික පුද්ගලයන් වෙත වැඩි දුරටත් අවධාරණය කර සිටින ලදි.

එමෙන්ම මෙම සංචාරය සඳහා එක්වූ නාවික හමුදා සේවා වනිතා ඒකයේ ගරු සභාපතිනිය විසින් නාවික හමුදාධිපති තුමාගේ චාරිකාවාරයට සමගාමීව සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කරන ලද අතර, එහිදී දැනට පවත්වාගෙන යන ව්‍යාපෘතීන් මෙන්ම ඒවා වැඩි දියුණු කල යුතු ආකාරය පිළිබඳව සොයා බලන ලදි. නව සේවා වනිතා වෙළඳසැලක් තම්බපණ්නි ආයතනයේ ආරම්භ කිරීමට මෙන්ම තම්බපණ්නි සහ භරණ ආයතනයන්හි පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතීන් තවදුරටත් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද එතුමිය විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදි.

මෙම චාරිකාවාරයේදී නාවික හමුදාධිපති තුමන්, කොවිඩ් 19 වැළැක්වීමේ සම්මත ක්‍රියාපටිපාටියට යටත්ව ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් සුභසාධන කටයුතු පුළුල් කිරීම සඳහා නාවික හමුදාව පියවර ගන්නා බව ප්‍රකාශකර සිටින ලද අතර, විශේෂයෙන් කඳවුරු තුල නාවිකයින්ගේ නිවාස පහසුකම් සඳහා තාවකාලික නිවස්න වෙනුවට ස්ථිර නිවාසයන් ඉදි කිරීම, සේවා වනිතා අලෙවිසැල් මගින් අලෙවි කරනු ලබන විෂයන් තවදුරටත් සහනදායි මිළ ගණන් යටතේ ලබා දීම, නාවික පුද්ගලයින් වෙනුවෙන් ඉදිරියටත් සහනදායී පොලී අනුපාතයන් යටතේ ණය පහසුකම් ලබාදීම, විශ්‍රාමික සහ ආබාධිත නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල් වෙත අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත ගෙනගොස් ලබාදීම වැනි ක්‍රියාමාර්ග ගෙන ඇති බව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදි.

මෙම චාරිකාවාරය සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති, නියෝජ්‍ය ආඥාපති, වයඹ නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, වයඹ නාවික විධානයේ ආයතනයන්හි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.