රියර් අද්මිරාල් කුමාර සේනාධීර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 28 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් කුමාර සේනාධීර අද (2020 සැප්තැම්බර් 02) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

ඔහුගේ 55 වන උපන් දිනය යෙදී තිබූ අද දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින්, රියර් අද්මිරාල් කුමාර සේනාධීර හට උපන් දින සුභපැතුම් පිරිනමන ලදි. අනතුරුව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් රියර් අද්මිරාල් කුමාර සේනාධීර පිටත්ව යන ලද අතර ඒ අවස්ථාවේදී මාර්ගය දෙපස සිට ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඔහු වෙත සුභාශිංසන පිරිනමන ලදි.

1992 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් කුමාර සේනාධීර, සිය සේවා කාලය තුල උතුරු, නැගෙනහිර සහ බටහිර නාවික විධානයන්හි විධාන සිවිල් ඉංජිනේරු නිලධාරී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු, අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ආදී ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි.