නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු ප්‍රථම වරට 2020 සැප්තැම්බර් 10 වන දින නැගෙනහිර නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත විය.

මෙම සංචාරයේදී නාවික හමුදාධිපතිතුමන් විසින් නැගෙනහිර නාවික විධානයේ අංශ පිරික්සුම නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී සිදු කරන ලද අතර, විධානයේ නෞකා සහ ආයතනවලට අයත් අංශයන් එහිදී නාවික හමුදාධිපතිගේ පරීක්‍ෂාවට ලක් කෙරිණ. මෙහිදී නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, අංශ ක්‍රමය ක්‍රමාණුකූලව පවත්වාගෙනයාම සහ නාවික පුද්ගලයින් විවිධ වර්ගයේ විෂ මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි නොවී සිටීම පිළිබඳ විශේෂයෙන් අවධාරණය කරන ලදි. තවද, කොව්ඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා විධානයක් වශයෙන් ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් නැගෙනහිර නාවික විධානය වෙත සිය ස්තුතිය ප්‍රකාශ කිරීමටද මෙහිදී නාවික හමුදාධිපතිතුමන් අවස්ථාවක් කරගන්නා ලදි.

නැගෙනහිර නාවික විධානයේ කාර්ය සහ කර්තව්‍ය සම්බන්ධයෙන් එම විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධාන ආඥාපති ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව නාවික හමුදාධිපතිතුමන් නාවික තඨාකංගන පරිශ්‍රයේ ඉදිකිරීම් ව්‍යාපෘති නිරීක්‍ෂණය කරන ලදි.ඉන් අනතුරුව 4 වන වේග ප්‍රහාරක බලඝන මූලස්ථානයේ පුළුල් කරන ලද පරිපාලන ගොඩනැගිල්ල විවෘත කළ නාවික හමුදාධිපතිතුමන්, කොමදෝරු අධිකාරී තඨාකංගනය (නැගෙනහිර) මගින් අංක 03 දියත් මගෙහිදි නැවත සවිගන්වන ලද පි 491 වේග ප්‍රහාරක යාත්‍රාව ප්‍රථම වරට දියත් කිරීම සිදු කරන ලදි. 2006 සහ 2007 වර්ශයන්හි 4 වන වේග ප්‍රහාරක බලඝනයේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ වත්මන් නාවික හමුදාධිපතිතුමා එම බලඝනයේ පළමු පුහුණු නිලධාරියාද වන්නේය. තවද, නැවත සවිගන්වන ලද පි 491 වේග ප්‍රහාරක යාත්‍රාවේ සුක්කානම් පාලන පද්ධතිය (Steering control system) නැගෙනහිර නාවික විධානයේ විදුලි නව නිපැයුම් මධ්‍යස්ථානය මගින් සැළසුම් කරන ලද අතර, නාවික හමුදාධිපතිතුමන් මෙම විදුලි නව නිපැයුම් මධ්‍යස්ථානයෙහි දැනට සිදු කෙරෙමින් පවතින අනෙකුත් ව්‍යාපෘති සම්බන්ධ සොයා බැලීමක් ද සිදු කර, එම මධ්‍යස්ථානය මගින් සිදු කරන ලද අත්හදාබැලීම් සහ නව නිපැයුම් පිළිබඳ අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරගෙන යන ලෙස උපදෙස් ලබා දෙන ලදි.

තවද, එතුමන් තඨාකංගන පරිශ්‍රයේ සිදු කරන ලද චාරිකාවාරය අතරතුර එම පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලද අතර, නාවිකයින්ගේ නවාතැන් පහසුකම් උසස් අයුරින් ලබාදීම සහ ඉහල තත්වයේ රාජකාරී වටපිටාවක් සකස් කිරීම සම්බන්ධයෙන් විධානයේ ආඥාපති ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන ලදි.

මෙම චාරිකාවාරය සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, නියෝජ්‍ය ආඥාපති ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.