නාවික හමුදාවට ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්ගේ විසිරයාම සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීම නාවික හා සාගරික විද්‍යාපීඨයේදී

නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් 1/2019 බඳවාගැනීමේ නිලධාරීන් 13 දෙනෙක් විසිරයාම සහ 1/2019 බඳවාගැනීමට අයත් සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීමේ උත්සවය 2020 සැප්තැම්බර් 11 වන දින බටහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්විණි.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ බටහිර නාවික විධානයේ ආඥාපති, විසිර යන නිලධාරීන් නාවික හමුදාවේ හර පද්ධතීන් සහ සාරධර්ම ආරක්‍ෂා කරමින් ඉදිරියට රාජකාරී සිදුකිරීම අවශ්‍ය බව පවසන ලදි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන්, රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම සඳහා ඉහල වෘත්තීය නිපුණත්වයකින් යුතුව කටයුතු කරන ආයතනයක් ලෙස නාවික හමුදාවේ ප්‍රතිරූපය ඉහල නැංවීම සඳහා ස්වකීය දායකත්වය ලබා දිය යුතු බවත්, විශේෂයෙන් නාවික හමුදාවේ සහ රටේ අපේක්‍ෂිත අභිලාෂයන් ලඟාකර ගැනීම සඳහා වගකීම් දැරිය යුතු බවත් ප්‍රකාශ කරන ලදි.

තවද, පුහුණු කාලසීමාව තුලදී සුවිශේෂි දක්‍ෂතා දැක්වූ විසිර යන නිලධාරීන් සඳහා විශේෂ සම්මාන ප්‍රදානයක්ද සිදු කෙරිණි. මෙහිදී ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන්ගේ හොඳම නිලධාරියා ලෙස උප ලුතිනන් ඩබ්එච්එල්සී විජේරත්න සහ හොඳම වෙඩික්කරු ලෙස උප ලුතිනන් ඩීසීබී ජයසිංහ සම්මාන හිමිකරගන්නා ලදි. සේවා ප්‍රවේශ බඳවාගැනීමේ හොඳම අපේක්‍ෂකයා සහ හොඳම වෙඩික්කරු ලෙස ආර්එම්එස්කේ රත්නායක විසිනුත්, හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය ආර්ටීඑච් රංජිත් විසිනුත් හිමිකරගන්නා ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, විසිර යන සහ අධිකාරියට පත් වූ නිලධාරීන්ගේ දෙමව්පියන්ද සහභාගී වී සිටියහ.