රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙතින් අද (2020 සැප්තැම්බර් 14) අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් කපිල සමරවීර වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් නව තනතුරේ වැඩ භාර ගත් රියර් අද්මිරාල් කපිල සමරවීර වෙත සුභපැතුම් එක් කරන ලදී.

රියර් අද්මිරාල් කපිල සමරවීර දෙහිවල මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. එතුමා 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක් විය. නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1987 වසරේ අප්‍රේල් 07 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය තාක්‍ෂණික උප ලුතිනන් පාඨමාළාව 1987 දී පාකිස්තානයේදී හදාරා ඇත. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2016 අගෝස්තු මස 23 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ භාරධූර නිලතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර, උදාර, රණධීර, හංසයා ආදී නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන්ද රාජකාරී සිදු කොට ඇත. තවද, ඔහු වැලිසර නාවික අණභාර නිලධාරී, අධ්‍යක්‍ෂ ජෙනරාල් (සම්බන්ධීකරණ) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, ධජ නිලධාරී නාවික දියත් විධානය, දකුණු නාවික විධානයේ ආඥාපති, වශයෙන් රාජකාරී සිදු කරන ලදි. එමෙන්ම, රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරන ලදී.

තවද, රියර් අද්මිරාල් කපිල සමරවීර අවස්ථා කිහිපයකදිම ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල්වලදී උසස් නාවික පුහුණු පාඨමාළාවන් හදාරා ඇති අතර, දියයට සංග්‍රාම පිළිබඳ විශේෂඥයකු ලෙස සැලකෙන ඔහු ඒ සඳහා වැඩිදුර පුහුණුව පාකිස්ථානයේ කරච්චි පිහිටි පාකිස්ථාන නාවික හමුදාවේ දියයට සංග්‍රාමික පාසලේදී හදාරා ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ යෝක් ටවුන් හි පිහිටි ඇමරිකානු වෙරළාරක්‍ෂක පුහුණු මධ්‍යස්ථානයේදී ජාත්‍යන්තර නාවික නිලධාරීන්ගේ පුහුණු පාඨමාළාව හදාරා ඇති ඔහු, බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ විද්‍යාර්ථයෙකි.

1987 වර්ෂයේ සිට ත්‍රස්තවාදය මැඩලීම සඳහා මුහුදින් සහ ගොඩබිමින් සක්‍රීයව දායකත්වය ලබා දුන් ඔහු, මව්බිම වෙනුවෙන් ඉටු කළ අනගිභවනීය මෙහෙවර වෙනුවෙන් රණශූර පදක්කම තෙවතාවක් දිනා ගැනීමට සමත්වී ඇත. එසේම ඔහුගේ දීප්තිමත් සේවා කාලය මුළුල්ලේ පෙන්නුම් කල නොකැළැල් චරිත ස්වාභාවය වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන්ද පිදුම් ලබා ඇත. තවද, ඔහුගේ මනා කැපවීම සහ මඟපෙන්වීම ඇගයීම සඳහා නාවික හමුදාධිපතිතුමන් විසින් අවස්ථාවන් 06ක දීම ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.

ඉතා ‍දක්‍ෂ ක්‍රිඩකයෙකු මෙන්ම අතිශූර ක්‍රීඩා පරිපාලන නිලධාරියෙකු වන ඔහු 2003 සිට 2013 දක්වා වන කාලය තුල ශ්‍රී ලංකා නාවික හමුදා මල්ලව පොර සහ ජූඩෝ සංචිතයන්හි සභාපතීත්වය දරා ඇති අතර, 2004 සහ 2009 වර්ෂයන්හි සිට 2012 වර්ෂය දක්වා පිළිවෙළින් ශ්‍රී ලංකා නාවික හමුදා වූෂූ සහ කරාතේ සංචිතවල ආරම්භක සභාපතීත්වය දරා ඇත.

රියර් අද්මිරාල් කපිල සමරවීර, චාන්දනී කුමාරි අතුකෝරළ මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, ඔවුන් ‍දෙපළට චේතනි සමරවීර සහ නිරුණි සමරවීර යන දියණියන් දෙපලක්ද සිටී.