නැගෙනහිර නාවික විධාන අඥාපති ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සුජේ’ සහ ‘සමුද්‍ර පෙහෙරිදාර්’ නෞකාවන් නිරීක්‍ෂණය සඳහා එක්වෙයි

නැගෙනහිර නාවික විධාන ආඥාපති විසින් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සුජේ’ (ICGS Sujay) සහ ‘සමුද්‍ර පෙහෙරිදාර්’ (ICGS Samudra Paheredar) නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් ත්‍රිකුණාමලයේදී හමුවී ‘එම්ටී නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ඇති වූ ආපදා තත්වය කළමණාකරනය කිරීම සඳහා දැක්වූ විශිෂ්ඨ සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පල කර සිටින ලදි.

ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ‘සුජේ’ සහ ‘සමුද්‍ර පෙහෙරිදාර්’ නෞකාවන් පසුගිය සැප්තැම්බර් 04 සහ 06 යන දිනයන්හීදි ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ළඟාවූ අතර, නෞකාවේ පැවති ගින්න පාලනය කිරීම සඳහා එම නෞකාවන් විසින් සුවිශේෂී සහයක් ලබා දෙන ලදී. මෙම නෞකාවන් සිය සැපයුම් අවශ්‍යතාවයන් සඳහා ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණි අවස්ථාවේදී මෙලෙස නැගෙනහිර නාවික විධාන ආඥාපති විසින් එම නෞකාවන්හි අණදෙන නිළධාරීන් ඇතුළු නැව් මුළුව හමුවී ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ගිනි නිවීමේ මෙහෙයුම සඳහා ලබා දුන් අනගි සහය සහ කැපවීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පල කරන ලදි.

තවද මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ‘සුජේ’ සහ ‘සමුද්‍ර පෙහෙරිදාර්’ නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් සහ නැගෙනහිර නාවික විධාන ආඥාපති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.