කොළඹ රාජකීය විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් වෙත බුහුමන් දක්වයි

කොළඹ, රාජකීය විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් බුහුමන් දැක්වීමේ උත්සවයක් අද (2020 සැප්තැම්බර් 18) කොළඹ රාජකීය විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විය.

කොළඹ රාජකීය විද්‍යාලයට පිවිසි නාවික හමුදාධිපති තුමන්, එම මැතිණිය වන, චන්දිමා උඑගේතැන්න මහත්මිය සහ දියණිය එම විද්‍යාලයේ ආදි සිසුන්, විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය විසින් ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදි.

විද්‍යාලයේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ විචිත්‍රවත් පෙළපාලියක් මගින් රාජකීය විද්‍යාලය තුලට එතුමන් කැඳවාගෙන යාමෙන් අනතුරුව රාජකීය විද්‍යාලයේ ශීෂ්‍යභට කණ්ඩායම විසින් නාවික හමුදාධිපති තුමන් වෙත ශිෂ්‍යභට උත්තමාචාරය පුද කරන ලදි. එහිදී රාජකීය විද්‍යාලීය රණවිරු ස්මාරකය වෙත පුෂ්ප උපහාර පිරිනමා ආචාරය පුද කල නාවික හමුදාධිපතිතුමන්, රාජකීය විද්‍යාලීය සමරු සටහන් පොතේ සටහනක් තැබීම සිදු කරන ලදි. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කාමරය වෙත පිවිසුනු නාවික හමුදාධිපති තුමන්, එහිදී සිය පැරණි මතකයන් අවදි කර ගැනීමට එය අවස්ථාවක් කර ගන්නා ලදි.

මෙහිදී උත්සව සභාව ඇමතූ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තුමන්, ප්‍රථමයෙන් අද දිනට යෙදී තිබූ නාවික හමුදධිපති තුමන්ගේ උපන්දිනය නිමිත්තෙන් ඔහු වෙත උපන්දින සුභපැතුම් පිරිනමන ලදි. රාජකීය විද්‍යාලයේ තවත් සාඩම්බර සාමාජිකයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් ඉතාමත් ආඩම්බර වන බව පැවසූ විදුහල්පති තුමන්, රාජකීය සිසුන් සඳහා සුවිශේෂී ආදර්ශමත් චරිතයක් ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හඳුන්වා දිය හැකි බවත් මෙහිදී ප්‍රකාශ කර සිටින ලදි.

මෙම උත්සව අවස්ථාවේදී නාවික හමුදාධිපති තුමන්ගේ පාසැල් අවධිය සම්බන්ධයෙන් එතුමන්ගේ පාසලේ සමකාලීනයෙකු සහ ශිෂ්‍යභට කණ්ඩායමේ සමාජිකයෙකු වූ ජනක් වීරක්කොඩි මහතා විසින් අදහස් දැක්වූ අතර, එතුමන්ගේ නාවික ජීවිතය පිලිබඳව හිටපු නාවික හමුදාධිපති වරයෙකු මෙන්ම වත්මන් ආදි රාජකීය ශිෂ්‍යභට සංවිධානයේ සභාපති අද්මිරාල් (විශ්‍රාමික) තිසර සමරසිංහ විසින් මෙහිදී අදහස් දක්වන ලදි.

මෙම උත්සව සභාව ඇමතූ නාවික හමුදාධිපති තුමන්, රාජකීය විද්‍යාලය වෙත එතුමන් ඉතා උණුසුම් අයුරින් පිලිගැනීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් මෙම උත්සවය සංවිධානය කල ආදි රාජකීය ශිෂ්‍යභට සංවිධානය වෙත සිය ස්තූතිය පුදකර සිටින ලදි.එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස රාජකීය විද්‍යාලය වෙත නැවත පැමිණීමට හැකිවීම සහ රාජකීය විද්‍යාලයේ හිටපු ත්‍රිවිධ හමුදාධිපති වරුන්ගේ සමාජයේ සාමාජිකයෙකු වීමට හැකිවීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටට පත් වන බවත් පැවසීය.

මෙහිදී රාජකීය විද්‍යාලයේ පාසැල් අවධියේ මතකයන් අවදිකල නාවික හමුදාධිපති තුමන්, සාමය සහ සමානාත්මතාවයෙන් ජීවත් වීමටත්, හර පද්ධතීන් මුවහත් කිරීමටත් ඉතා උසස් පාඩම් කියා දුන් අසමසම ස්ථානයක් ලෙස රාජකිය විද්‍යාලය හඳුන්වාදිය හැකි බව පැවසීය. රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයයෙකු වන නාවික හමුදාධිපති තුමන් වැඩි දුරටත් අදහස් දක්වමින් විනය, ඉවසීම, කැපවීම සහ මහන්සි වී වැඩ කිරීම යන යහපත් ගුණාංග තුලින් පෞර්ෂ වර්ධනය සිදු කල යුතු බව පවසා සිටි අතර, නව තාක්‍ෂණයට වහල් නොවන ලෙසත්, මත් උවදුරට ගොදුරු නොවන ලෙසත් එතුමන් රාජකීය විද්‍යාලීය සිසු දරුවන්ගෙන් මෙහිදී ඉල්ලා සිටින ලදි.

තවද, නාවික හමුදාධිපති තුමන්ගේ පාසල් අවධියේ ශිෂ්‍යභට ගුරුවරයා ලෙස කටයුතු කල එම්එන් ධර්මරත්න මහතා සහ පාසලේ පළමු වසර පන්තියේ පන්ති භාර ගුරුතුමිය වශයෙන් කටයුතු කල සුගතපාල මහත්මියද මෙම උත්සව අවස්ථාව සඳහා පැමිණ සිටින ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලීය විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය‍‍‍‍‍‍, හිටපු විදුහල්පති වරුන් සහ ගුරුභවතුන්, ආදි සිසුන්, රාජකීය විද්‍යාලය මගින් බිහිකල හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, දැනට සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සහ රාජකීය විද්‍යාලයේ සිසු දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.