“අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය - 2020” සමාරම්භක උත්සවය සඳහා නාවික හමුදාධිපති තුමන් සහභාගී වෙයි.

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) විසින් සංවිධානය කරන ලද “අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය - 2020” හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (2020 සැප්තැම්බර් 19) ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

වෙරළ හා සමුද්‍ර සම්පත්වල වටිනාකම් පසක් කරලමින් පොදු ජනතාවගේ ආකල්පමය පිබිදීමක් ඇති කිරීමේ හා වෙරළ පවිත්‍ර කිරීමට ප්‍රජා දායකත්වය ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය මෙලෙස අද (2020 සැප්තැම්බර් 19) ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි.

රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපති වරුන්, රාජ්‍ය ආයතන නිලධාරීන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වී සිටින ලද අතර, මෙම සමාරම්භක වැඩසටහනට සමගාමීව සංවිධානය කර තිබූ වෙරළ පිරිසිදු කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදා සමාජිකයින් පිරිසක් ද සහභාගී විය.

තවද. මෙම වැඩසටහනට සමගාමීව දිවයින වටා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත.