නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ උපදේශක පාඨමා‍ලාවක් ත්‍රිකුණාමලයේදී ආරම්භ වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ සාගරික අපරාධ සම්බන්ධ ගෝලීය වැඩසටහන මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්දයෙන් පවත්වනු ලබන උපදේශක පාඨමාලාවේ ආරම්භක උත්සවය 2020 සැප්තැම්බර් 21 වන දින ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මගින් ඉන්දීය සාගර කළාපයේ එම කාර්යාලයේ පුහුණු කේන්ද්‍රස්ථාන ලෙස සීසෙල්ෂ් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පමණක් නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ද පුහුණු පාඨමාලාවන් පවත්වනු ලබයි.

ඒ අනුව, ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පළමු වරට පවත්වනු ලබන මෙම විශේෂ උපදේශක පුහුණු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 04 දෙනෙකු සහභාගීවේ. මෙම පාඨමාලාව මගින් නෞකා වෙත ප්‍රවිෂ්ටවීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උපදේශක රාජකාරි නියුතු නිලධාරීන්ගේ දැනුම මුවහත් කිරීම අපේක්‍ෂා කෙරෙන අතර, ඒ අනුව ඉදිරියේදී මෙම පුහුණුවන නිලධාරීන් විසින් නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නාවික පුද්ගලයින් වෙත එම දැනුම ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.

මෙම උපදේශක පාඨමාලා ආරම්භ කිරිමේ අවස්ථාව සඳහා විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණු විධායක, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ නිලධාරීන් හා උපදේශකයින් සහ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණු උපදේශකයින් පිරිසක් සහභාගී වී සිටියහ.