සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා දිවයිනෙන් පිටත් වෙයි

2020 සැප්තැම්බර් 23 වන දින කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් පැවැත් වූ සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව එම ජපාන නෞකාවන් 2020 සැප්තැම්බර් 24 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “කාගා” සහ “ඉකසුචි” යන නෞකාවන් 2020 සැප්තැම්බර් 24 වන දින ශ්‍රීලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නෞකාව, වේග ප්‍රහාරක යාත්‍රා සහ වෙරළආරක්‍ෂක මුර යාත්‍රා සමග බටහිර නාවික විධානයට අයත් මුහුදු කළාපයේ සාර්ථක නාවික අභ්‍යාසයක නිරත විය. මෙම අභ්‍යාසය දෙපාර්ශවය අතර නාවික දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙන්ම දෙරටේ සුහදත්වය වර්ධනය කර ගැනීමටද ඉවහල් විය.

ඒ අනුව, සාර්ථක නිල සංචාරයක් නිමා කරමින් දිවයිනෙන් පිටත් වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් වෙත නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහිදී සමුදීම සිදු කරන ලදි.