නාවික හමුදාධිපති විසින් අරාලි තුඩුවේදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සඳහා පුෂ්පෝපහාර දක්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 සැප්තැම්බර් 27 වන දින යාපනය අරාලි තුඩුවෙහි ස්ථාපිත කර ඇති සමරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් අභීතව සටන්වැද දිවි පිදූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න සහ එවකට උතුරු නාවික විධානයේ ආඥාපතිව සිටි රියර් අද්මිරාල් මොහාන් ජයමහ ඇතුළු විරෝධාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටි කීර්තිමත් ජ්‍යෙෂ්ඨ යුධ සෙන්පතියෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් පිරිසක් 1992 අගෝස්තු 08 වන දින ජිප් රථයක ගමන් කරමින් සිටියදී අරාලි තුඩුව ප්‍රදේශයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් එම රථය ඉලක්කකර අටවා තිබූ අධිබලැති බිම් බෝම්බයකට හසුවීමෙන් ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්ආර් ස්ටීවන්, ලුතිනන් කර්නල් ජීඑච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයිඑන් පලීපාන, ලුතිනන් කර්නල් නලින් ද අල්විස්, ලුතිනන් කොමාණ්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කොමාණ්ඩර් චන්දිම විජයපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ජී වික්‍රමසිංහ යන වීරෝධාර රණවිරුවන් දස දෙනා (10) ජීවිතක්‍ෂයට පත් විය.

මෙලෙස, රට වෙනුවෙන් තම ජීවිත කැපකල විරෝධාර රණවිරුවන් සිහි කිරීම සඳහා අරාලි තුඩුවෙහි ස්ථාපිත කර ඇති සමරු ස්මාරකය වෙත පැමිණි නාවික හමුදාධිපතිතුමන් පුෂ්පෝපහාර දක්වමින් එම රණවිරුවන් සිහිකිරීමට කටයුතු කරන ලද අතර, එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ ආඥාපති ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.