පොපි සැමරුම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි

2020 නොවැම්බර් මස 08 වන දිනට යෙදෙන සන්නද්ධ හමුදා රණවිරු අනුස්මරණ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරනු ලබන පොපි සැමරුමට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති, මේජර් ජෙනරල් (විශ්‍රාමික) උපුල් පෙරේරා විසින් අද (2020 සැප්තැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

යුද්ධයේදී ජීවිතය පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ප්‍රථම වරට ආරම්භ වූ මෙම පොපි මල් සැමරුම වර්තමානයේදී මව්බිම වෙනුවෙන් දිවි පිදූ සියළුම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබන අතර, පොපි මල් අලෙවියෙන් ලැබෙන මුදල් සේවා මුක්ත භට සංගමයේ සියළු සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා යෙදවේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති, සන්නද්ධ හමුදා අනුස්මරණ කමිටුවේ සභාපති ඇතුළු එම සංගම් නියෝජනය කරමින් සාමාජිකයින් පිරිසක් ද සහභාගි වී සිටියහ.