ලෝක ළමා දිනය හා රිඡ්වේ ආර්යා ළමා රෝහලේ 125 වන සංවත්සරයට සමගාමීව ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වේ

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ 125 වන සංවත්සරයට හා අදට (2020 ඔක්තෝබර් 01) යෙදී තිබෙන ලෝක ළමා දිනයට සමගාමීව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ පවත්වන ලද උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

මෙහිදී කුඩා දරුවන්ගේ රෝගී සත්කාරක සේවාවන් පුළුල් කිරීම උදෙසා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරනු ලබන නවමහල් දැඩිසත්කාර හා ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය සහ අභිනවයෙන් ඉදි කරන ලද ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය හා නව ශල්‍යාගාරය විවෘත කිරී‍ම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කරන ලදි.

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ භෞතික පහසුකම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කරන ලද මහල් දොලහකින් යුත් හෘද හා උරස් දැඩිසත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් නාවික හමුදාව කඩිනමින් සිදුකරනු ලබන අතර, එම වාට්ටු සංකීර්ණයේ දෙවන අධියර ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සිව් මහල් වාට්ටු සංකීර්ණයක ඉදි කිරීම් කටයුතු 2021 වසරේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා මේ වන විට නාවික හමුදා සිවිල් ඉංජිනේරු නිලධාරීන් තිදෙනෙකු සහ සිවිල් ඉංජිනේරු හා විදුලි කාර්මික අංශයේ නාවික පුද්ගලයින් 235 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වි සිටියි. තවද, කොවිඩ් -19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය නවීකරණ කටයුතු රැසක් ද නාවික හමුදාවේ මූලිකත්වයෙන් මෙම රෝහල් පරිශ්‍රයේ සිදු කරන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය, සෞඛ්‍ය අමාත්‍ය ගරු නිතීඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි මැතිණිය ඇතුළු මහජන නියෝජිතයින්, රිඡ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හා කාර්යමණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.