රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් අනුරාධපුරයේදී පවත්වන ලද ජංගම සේවාව සාර්ථකව අවසන්වේ

රණවිරු සේවා අධිකාරිය මගින් ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර මියගිය, ආබාධිත, අතුරුදහන්වූ සහ විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක් ගරු ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 03 වන දින 0800 පැයේ සිට 1700 පැය දක්වා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදි.

මෙම ජංගම සේවාවේ එක් සුවිශේෂී අංගයක් ලෙස මියගිය හා අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ ලඟම ඥාතින් හට තම දරුවා, ස්වාමියා, හෝ සහෝදරයා දේශය වෙනුවෙන් සිදුකල අමිල මෙහෙය අගය කිරීමක් ලෙස, ‘උත්තම ප්‍රණාම පදක්කම’ පැළඳවීම ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් හා වැඩ බලන පොලිස්පති විසින් සිදු කරන ලදි. එහිදි රට වෙනුවෙන් තම ජීවිත කැප කර මියගිය හා අතුරුදහන් වූ අනුරාධපුරය දිස්ත්‍රික්කයට අයත් විරෝදාර නාවික පුද්ගලයින් අට දෙනෙකුගේ (08) ලඟම ඥාතීන් හට උත්තම ප්‍රණාම පදක්කම පැළඳවීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් සිදු කෙරිණි.

ඒ අනුව, ලුතිනන් කොමාණ්ඩර් ආර්එම්ඩීඑච්එස් රත්නායක, නායක සෙබළ එච්ජීඩබ්කේ ප්‍රේමලාල්, නායක නැවි ඩීඑම්එස්බී දහනායක, නායක නැවි එන්එන් රාජපක්‍ෂ, නායක විදුලිකාර්මික එන්එම්ඩබ්එස් කරුණාතිලක, නායක විදුලිකාර්මික ආර්යූඑස් සමන්ත කුමාර, බල සෙබළ ජීසී ගුණසේකර සහ බල නැවි ජේටී ජයතිලක යන වීරෝදාර නාවික රණවිරුවන් අට දෙනාට (08) හිමි උත්තම ප්‍රණාම පදක්කම් ඔවුන්ගේ ළඟම ඥාතීන් වෙත පැළඳවීම නාවික හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදි. එමෙන්ම, අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් රට වෙනුවෙන් තම ජීවිත කැප කර, මියගිය හා අතුරුදහන් වූ වීරෝදාර නාවික පුද්ගලයින් 16 දෙනෙකු ඇතුළුව තවත් නාවික රණවිරුවන් 269 දෙනෙකුගේ ලඟම ඥාතීන් වෙත ඉදිරියේදී මෙම උත්තම ප්‍රණාම පදක්කම ලබා දීමට නියමිතය.

තවද, මෙම ජංගම සේවාව මගින් සේවාවන් ලබා ගැනීම සඳහා නාවික හමුදාවේ සේවයකර මියගිය හා අතුරුදහන්වූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත හා විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් සහභාගී වූහ. එහිදී ඔවුන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් හා රක්‍ෂණ වන්දි ලබා ගැනීමේදී පවතින ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත්, වෛද්‍ය සායන පවත්වා නිසි සෞඛ්‍ය උපදෙස් ලබාදීම මෙන්ම රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ වෙනත් සුභසාධන කටයුතු සම්බන්ධ ගැටළු සඳහා උපදෙස් සහ විසඳුම් ලබාදීමට ද නාවික හමුදාව වැඩිදුරටත් කටයුතු කරන ලදි.