ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ නිලධාරී නිවාසය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය දකුණ සාම්පූර්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ පිහිටි නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද නිලධාරි නිවාසය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අද (2020 ඔක්තෝබර් 12) විවෘත කරන ලදි.

විදුර ආයතනයේ සහ මැරීන් බලඝණ මූලස්ථානයේ නිලධාරීන්ගේ සුභසාධනය සඳහා 2018 වසරේ ආරම්භ කරන ලද මෙම දෙමහල් නිලධාරි නිවාසයේ ඉදිකිරීම් කටයුතු නැගෙනහිර නාවික විධානයේ සිවිල් ඉංජිනේරු අංශය මගින් සිදුකරන ලද අතර, එහි ඉදිකිරීම් කඩිනමින් නිම කිරීම නාවික හමුදාධිපතිතුමන් විසින් මෙහිදී ඇගයීමට ලක් කිරීමටද කටයුතු කෙරිණි. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් විසින් මැරීන් බලඝණ මූලස්ථාන නිලධාරී නිවාස පරිශ්‍රයේ පොල් පැළයක් රෝපනය කිරීමට කටයුතු කළ අතර, එම බලඝණයේ පුහුණු විධායක විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ සහ නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.