ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර හතරක් (04) ඔස්ට්‍රේලියානු රජය වෙතින් ලබා දෙයි

ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර (PCR testing machine)හතරක් (04) ලබා දීම 2020 ඔක්තෝබර් 14 වන දින කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් නිල නිවසේදී සිදු කෙරිණි.

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින්, නාවික හමුදාව විසින් සාගර කළාපයේ සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් කටයුතු වලදී අවශ්‍යතාවය මත සිදු කිරීමට අවශ්‍ය පීසීආර් පරීක්‍ෂණ කාර්යක්‍ෂමව සහ ඵලදායී ලෙස සිදු කිරීම සඳහා මෙම පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර ඔස්ට්‍රේලියානු රජය විසින් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කෙරිණි.

ඒ අනුව, ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙතින් පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර දෙකක් (02) සහ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙතින් පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර දෙකක් (02) වශයෙන් පීසීආර් යන්ත්‍ර හතරක් (04) මෙහිදී නාවික හමුදාවට ලබා දෙන ලද අතර, මෙම යන්ත්‍ර මගින් එක වරකදී නියැදීන් හතර බැගින් පරීක්‍ෂා කිරීමේ හැකියාව පවති. ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෂොන් අන්වින් විසින් ලබා දුන් මෙම පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර නාවික හමුදාව වෙනුවෙන් අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු ප්‍රසන්න මහවිතාන විසින් භාර ගැනීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ස්වදේශ කටයුතු පිළබඳ උපදේශක හසන් සෝවයිඩ් මහතා සහ අධ්‍යක්‍ෂ නාවික වෛද්‍ය සේවා (රෝග නිශ්චය හා ප්‍රතිකාර) වෛද්‍ය කොමදෝරු පීජේබී මාරඹේ ද සහභාගී විය.