අතිගරු ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වේ

අනුරාධපුරය ඓතිහාසික මිහින්තලය රාජමහා විහාර පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිර‍යේ ප්‍රතිසංස්කරණ කටයුතු, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 24 පස්වරුවේ උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහභාගි විය

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා මෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයෙන් එම පුදබිමේ පෞරාණිකත්වය ආරක්ෂා වන අයුරින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබන අතර, මිහිඳු මහා සෑයෙහි සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රම දායකත්වය සපයනු ලබයි. තවද, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාව විසින් කඩිනමින් අවසන් කිරීමට සැළසුම්කර ඇත.

මෙම අවස්ථාව සඳහා ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික), කමල් ගුණරත්න ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.