ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, අද (2020 ඔක්තෝබර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න හමුවිය.

නුදුරේදී ධූරයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිතුමන් හමුවීමට පැමිණි ගුවන් හමුදාධිපති තුමන් වෙත නාවික හමුදා මූලස්ථානයේදී සම්මාන ආචාර මුරයක් මගින් උත්තමාචාරය පිරිනමන ලදී. අනතුරුව, නියෝඡ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා බටහිර නාවික විධානයේ අඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ විසින් ගුවන් හමුදාධිපති තුමන් නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු කළමනාකරණ මණ්ඩලයද සහභාගි වූහ.

මෙහිදී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් විසින් සිය ධූර කාලසිමාවේදි නාවික හමුදාව ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න වෙත සිය කෘතඥතාවය පළකර සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමන් විසින් නුදුරේදී ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත ගුවන් හමුදාධිපති තුමන්ගේ ඉදිරි කටයුතු සහ විශ්‍රාම දිවිය සඳහා සුබපැතුම් පිරිනමන ලදී.

තවද මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.