රටටම ආශිර්වාද එක් කරමින් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන විශේෂ පිරිත් සඡ්ඣායනාවේ දෙවන සතිය ඇරඹේ

කොවිඩ් -19 වෛරසය දිවයිනෙන් තුරන් කරමින් රටට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් අඛණ්ඩව සති 3 ක් පුරා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පවත්වනු ලබන ‘පිරිත්’ සඡ්ඣායනාවේ දෙවන සතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙණ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 නොවැම්බර් මස 25ස් වන දින සහභාගී විය.

නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙන ‘පිරිත්’ සඡ්ඣායනාවේ දෙවන සතියේදී බටහිර නාවික විධානය විසින් සියලු කටයුතු සංවිධානය කරනු ලබන අතර, මෙම ‘පිරිත්’ සඡ්ඣායනා පුණ්‍ය කර්මය පැවැත්වෙන කාලසීමාව තුළ උදෑසන කිරි ආහාර පූජාව, බුද්ධ පූජාව සහ සවස ගිලන්පස පූජාව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සංවිධායකත්වයෙන් සිදුකරනු ලබයි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ වෛද්‍ය කාර්යය මණ්ඩලයක්, ගිලන් රථයක්, ශරීර උෂ්ණත්ව පරීක්ෂා කිරීමේ ආම්පන්න සහ විෂබීජ නාශක දියර අවශ්‍ය පරිදී ස්ථානගත කිරීමට නාවික හමුදාව කටයුතු යොදා ඇත.

තවද මෙම අවස්ථාව සඳහා සම්භාවනීය ආරාධිත අමුත්තන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණිය, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් එක්ව සිටියහ.