නාවික හමුදා නිලධාරීන් 23 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්න කල දාහතරවන වන (14) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ සහතික ප්‍රදාන උත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී 2020 දෙසැම්බර් මස 11 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.

දාහතරවන වන (14) ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව, 2020 වර්ෂයේ ජනවාරි මස 06 වන දින සිට දෙසැම්බර් මස 11 වන දින දක්වා සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 81ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 23 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 27 ක්, බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පකිස්තානය, රුවන්ඩාව, සෞදි අරාබියාව සහ සුඩානය යන විදෙස් රාජ්‍යන් නියෝජනය කරමින් නිලධාරීන් 18 ක් ඇතුළුව නිලධාරීන් 149 දෙනෙකු මාණ්ඩලික පාඨමාලාව හදාරන ලදී.

මෙම උත්සවයේදි මාණ්ඩලික පාඨමාලාව සම්පූර්න කර මාණ්ඩලික සුදුසුකම් ලබා ගත් (Passed Staff College- psc) නාවික හමුදා නිලධාරීන් 23 දෙනෙකු සහතික පත් ලබාගත් අතර, පාඨමාලාව සම්පූර්න කල නාවික හමුදා නිලධාරීන් අතරින් සුවිශේෂී කුසලතාවයන් දැක්වූ ලුතිනන් කොමාන්ඩර් (විදුලි) බීඒආර්එස් බමුණුසිංහ ගෝල්ඩන් අවුල් (Golden Owl) කුසලානය හා ආඥාපති ගෞරව (Commandant Honours) සම්මානය ද, ලුතිනන් කොමාන්ඩර් (මාලිමා) ඩබ්ලිව්පීපීඑන් පෙරේරා ආඥාපති ගෞරව සම්මානය ද හිමිකර ගැනීමට සමත් විය.

තවද, මෙම උත්සව අවස්ථාව සඳහා වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් ඩීඒපීඑන් දෙමටන්පිටිය, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය, 14 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් නිලධාරීන් ඇතුළු පිරිසක් පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා ක්‍රමවේදයන්ට අනුකූලව සහභාගිවී සිටියහ.