ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම සැඟවුණු වෙඩික්කරු තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථම වරට සංවිධානය කරන ලද සැඟවුණු වෙඩික්කරුවන්ගේ වෙඩිතැබීමේ තරඟාවලිය (Naval Sniper Firing Competition) 2020 දෙසැම්බර් 14 වන දින සිට ත්‍රිකුණාමලය නාවික තටාකංගණ පරිශ්‍රයේදී පවත්වන ලද අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් 2020 දෙසැම්බර් මස 20 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා සැඟවුනු වෙඩික්කරුවන්ගේ වෘත්තීය කුසලතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් 2020 දෙසැම්බර් මස 14 වන දින සිට දින හයක් (06) පුරා ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේ තෝරාගත් ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැත්වූ මෙම තරඟාවලිය සඳහා නාවික පාබල, විශේෂ යාත්‍රා බලඝනය සහ මැරීන් බලඝනයට අයත් සැඟවුනු වෙඩික්කරු පාඨමාලාවේ සුදුසුකම් ලැබූ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වූහ. විශේෂ යාත්‍රා බලඝනය හා මැරීන් බලඝනය විසින් සිදු කරනු ලබන නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, පරීක්‍ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීම වැනි කුඩා කණ්ඩායම් මෙහෙයුම් මෙන්ම නාගරික ප්‍රදේශයන් ආශ්‍රිතව සිදු කරනු ලබන හමුදාමය මෙහෙයුම් සඳහා අවශ්‍ය විශ්වාසය ගොඩනැගීම මෙම වෙඩිතැබීමේ තරඟාවලිය මගින් නාවික හමුදාව අපේක්‍ෂාව කරනු ලබයි.

තරඟාවලියේ සියළු ඉසව්වන්ගෙන් ඉහලම ලකුණු ලබා ගනිමින් ශූරතා පලඟය ලුතිනන් කොමාණ්ඩර් (මැරීන්) පීකේඑස් මහින්ද විසින් දිනා ගත් අතර, හොඳම වෙඩි තැබීමේ කණ්ඩායමට හිමි ශූරතා පලඟය පාලක ප්‍රධාන සුළු නිලධාරී (වියාබ) ටීජීඑන්එස් කුමාර සහ නායක නැවි (වියාබ) එච්ආර්පීජේඑස් රත්නායක යන නාවිකයින් විසින් දිනා ගන්නා ලදි. මෙම ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා විශේෂ යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරි කපිතාන් තුසිත දමින්ද සහ විශේෂ යාත්‍රා බලඝනයේ පුහුණු කාර්යමණ්ඩලය ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.