නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

මාරාන්තික වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙක් ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් 2021 ජනවාරි මස 03 වන දින වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමා විසින් අම්බලන්තොට, සියඹලාකොටේ දී ජනතා අයිතියට පත් කෙරිණි.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් අම්බලන්තොට, සියඹලාකොටේ ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින් ප්‍රදේශවාසීන්ගේ දෛනික පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සළසා ගැනීමේ පහසුකම් සැළසෙනු ඇත.

පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රීක් ලේකම්, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටියහ.