නාවික හමුදා දායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ ඉදිකළ ලතා මණ්ඩප පරිශ්‍රය සහ නෙලුම් පොකුණ විවෘත කෙරේ

නාවික හමුදා දායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ ඉදිකළ ලතා මණ්ඩප පරිශ්‍රය සහ නෙලුම් පොකුණ විවෘත කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 ජනවාරි 06 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේදී සිදු කෙරිණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ අනුග්‍රාහකත්වයෙන් 2020 මාර්තු මස 02 වන දින ඉදිකිරීම් ආරම්භ කළ මෙම ලතා මණ්ඩප පරිශ්‍රයෙහි සහ සහ නෙලුම් පොකුණෙහි ඉදිකිරීම් කටයුතු නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ 2021 ජනවාරි මස 05 වන දින වන විට කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආසිරි අබේගුණවර්ධන මහතා, පවත්නා කොවිඩ් 19 අවධානම් තත්වය හමුවේ අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන වෛද්‍යපීඨ සිසු දරුවන්ගේ සුභසාධනය සඳහා මෙම විවෘත පරිශ්‍රය මහගු පිටුවහලක් වන බවත්, මෙම පරිශ්‍රය කඩිනමින් නිම කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති තුමන් ඇතුළු ඒ සඳහා දායක වූ සියළුම නාවික පුද්ගලයින් වෙත ප්‍රසංශාව පලකරන බවත්, මෙවැනි ඉදිකිරීම් සඳහා ඉදිරියටත් නාවික හමුදාවේ සහයෝගය ගෞරවයෙන් අපේක්‍ෂා කරන බවත් පවසන ලදි.

තවද, මෙම ලතා මණ්ඩපයෙහි ඉදිකිරීම් කඩිනමින් නිමකිරීමට දායක වූ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, ඔවුන් වෙත සිය ප්‍රශංසාව පල කර සිටීමටද මෙහිදී කටයුතු කෙරිණි

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආසිරි අබේගුණවර්ධන මහතා, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්ෂ ‌ඡෙනරාල් සිවිල් ඉංජිනේරු, කොමදෝරු එම්ජේආර්ආර් මැදගොඩ ඇතුළු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩලයේ පිරිසක්, වෛද්‍ය පීඨයේ සිසුන් සහ නාවික හමුදා නිලධාරීන් හා නාවිකයින් පිරිසක්ද සහභාගිවී සිටියහ.