නාවික හමුදාධිපතිතුමන්ගේ වසර 36 ක නාවික හමුදා දිවියට ආශීර්වාද පතා ආගමික වැඩසටහනක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නාවික හමුදා දිවියට වසර 36ක් සපිරීම නිමිත්තෙන් ආශීර්වාද පතා සංවිධානය කරනු ලැබූ ආගමික වැඩසටහනක් 2021 ජනවාරි 06 සහ අද (2021 ජනවාරි 07) දෙදින මහනුවර ශ්‍රී දළදා සමිදුන් අභියසදී සහ කොළඹ, හුණුපිටිය ගංඟාරාමයේදී පැවැත්විනි.

1985 වර්ෂයේ ජනවාරි 07 වන දින 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිළධාරියෙකු වශයෙන් නාවික හමුදාවේ විධායක අංශයට එක් වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සිය මූලික පුහුණුව ත්‍රීකුණාමලයේ නාවික හා සාගරික විද්‍යපීඨයෙන් ලබා ගැනීමෙන් අනතුරුව, 1987 වර්ෂයේදී උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් විය. එතැන්සිට ක්‍රමාණුකූලව උසස්වීම් ලබමින් 2015 වර්ෂයේ ජුනි මස 01 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වූ අතර, 2020 වර්ෂයේ ජූලි මස 15 වන දින වයිස් අද්මිරාල් නිලයට උසස් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස රාජකාරී ආරම්භ කරන ලදි.

අවි කටයුතු සහ මිසයිල පිළිබඳ විශේෂඥයෙකු වන නාවික හමුදාධිපතිතුමන්, නාවික හමුදා යාත්‍රාවන්ට මිසයිල තාක්‍ෂණය හඳුන්වාදුන් පුරෝගාමි කණ්ඩායමේ සාමාජිකයෙක් ද වේ. එමෙන්ම 30 වසරකට ආසන්න කාලයක් මෙරට වෙලාගත් ත්‍රස්තවාදය විජයග්‍රහණය කිරීමේ මෙහයුම් සඳහා අභීතව දායකවෙමින් මව්බිමේ නිදහස වෙනුවෙන් සිදු කළ අනභිභවනීය දායකත්වය උදෙසා සේවා පදක්කම් ගණනාවකින් පිදුම් ලබා ඇත.

ඒ අනුව සිය නාවික දිවියට 36 වසරක් සපිරීම නිමිත්තෙන් ජනවාරි 06 වන දින ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා සමිදුන් වැඳ ආශිර්වාද ලබා ගත් නාවික හමුදාධිපතිතුමන්, අද දින (2021 ජනවාරි 07) කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ අනු නායක අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් ආගමික වතාවත් සිදුකර බෝධි පූජා පිංකමක් සිදුකරන ලදි.

තවද, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් සහ බෝධි පූජා පිංකම සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය, දියණිය සහ පියානන් මෙන්ම නාවික හමුදාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ද සහභාගීවී සිටියහ.