නාවික හමුදාධිපතිතුමන් ගිනිකොන නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 ජනවාරි 09 සහ 10 දෙදින ගිනිකොන නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, එතුමන් නාවික හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසුව ගිනිකොන නාවික විධානයේ සිදු කළ මෙම පළමු නිල සංචාරය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය ද එක්විය.

ගිනිකොන නාවික විධානයේ සිදු කළ මෙම දෙදින නිළ සංචාරයේදී එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග සහ දීඝායු යන ආයතනයන් හා එම ආයතනයන්ට අයත් නාවික ස්ථානගතකිරීම් හි නිරීක්‍ෂණ චාරිකාවාර සිදු කරමින් විධානයේ මෙහෙයුම් හා පරිපාලන කටයුතු මෙන්ම නාවික පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් පිළිබඳව ද නාවික හමුදාධිපතිතුමන් විසින් විමසා බලන ලදී. එහිදී විශේෂයෙන් විධානයේ නාවික මෙහෙයුම් සඳහා වැදගත්වන ඔලුවිල් වරාය හා ශ්‍රීලංනානෞ දීඝායූ ආයතනයට අයත් ඔලුවිල් නාවික ස්ථානගතකිරීමෙහි නිරීක්‍ෂණ කටයුතු වල නිරතවූ නාවික හමුදාධිපති තුමන් එහි ආරක්‍ෂක කටයුතු සහ ඔලුවිල් වරායේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භකර පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව මගින් ලබාදිය යුතු දායකත්වය පිළිබඳව විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාකර අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙම චාරිකාවාරයේදී ගිනිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් ඇමතූ නාවික හමුදාධිපති තුමන්, නාවික හමුදාවට පැවරී ඇති කාර්ය හා කර්තව්‍ය නිසි ආකාරව කාර්යක්‍ෂමව ඉටු කිරීම සඳහා සියළුම නාවික පුද්ගලයින් සිය උපරිමයෙන් ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙන ලදි. එමෙන්ම ශ්‍රී ලංකාව වටා වූ සාගර කළාපයේ මුහුදු ආවේක්‍ෂණ කටයුතු වඩාත් පුළුල් ලෙස සිදු කරමින් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශාල ආයෝජනයක් සිදු කරමින් ඉදිරියේදී නවීන තාක්‍ෂණයෙන් යුතු විශාල ප්‍රමාණයේ නෞකා කිහිපයක් නාවික හමුදා නෞකා සමූහයට එක්කිරීමට නියමිත බවත්, නෞකා බලඇණිය පුළුල් කරමින් සහ නව තාක්‍ෂණික භාවිතයන් මෙහෙයුම් කටයුතු සඳහා එක්කරමින් දියුණු වන නාවික හමුදාව තුළ රාජකාරී කිරීමට හැකි වන පරිදි සියළුම නාවික පුද්ගලයින් නව තාක්‍ෂණික දැනුමෙන් හා කුසලතාවයෙන් පරිපූර්ණ විය යුතු බවත් අවධාරණය කරන ලදී.

තවද, කොවිඩ් වසංගතය හමුවේ ගිනිකොන නාවික විධානයේ මෙහෙයුම් නිසිලෙස පවත්වාගැනීම සම්බන්ධයෙන් මෙන්ම ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ කටයුතු උසස් අන්දමින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද ගිනිකොන නාවික විධානයේ ආඥාපති, අණ දෙන නිලධාරීන් ඇතුළු සියළුම නාවික පුද්ගලයින් වෙත සිය ප්‍රශංසාව ඵලකිරීමට කටයුතු කළ නාවික හමුදාධිපති තුමන්, කොවිඩ් - 19 වසංගතය සමඟ නාවික හමුදාවේ මෙහෙයුම් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නාවික පුද්ගලයන් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේදයන්ට අනුකූලව ඉතාමත් වගකීමෙන් කටයුතු කළ යුතු බවට උපදෙස් ලබා දෙන ලදී.

එමෙන්ම මෙම චාරිකාවාරයේදී ‍‍ඓයිතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරය වැඳපුදා ගත් නාවික හමුදාධිපති තුමන්, එහිදී විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කරන ලද අතර, එම විහාරස්ථානයේ ආරකෂාව සහ ඉදිරි ප්‍රථිසංස්කරණ කටයුතු සඳහා නාවික හමුදාවට ලබා දිය හැකි දායකත්වය උපරිම අයුරින් ලබාදීමට විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් මෙම චාරිකාවාරයේදී ගිනිකොන නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සුභ සාධනය වෙනුවෙන් ශ්‍රී ලංනානෞ මහනාග ආයතයේ අභිනවයෙන් ඉදිකළ නාවික හමුදා සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සිදු කළ අතර, එම අවස්ථාව සඳහා ද නාවික හමුදාධිපති තුමන් සහභාගී විය.

කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම නිරීක්‍ෂණ චාරිකාවාරය සඳහා ගිනිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් හා විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අණදෙන නිලධාරීන්, ඇතුළු ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.