ඉදුරාම බඳවා ගැනීමට අයත් නවක නිලධාරීන් සහ නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉදුරාම බඳවාගත් නවක නිලධාරීන් හා නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (2021 ජනවාරි 15) වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මෙහිදී ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට නිලධාරී 13 දෙනෙකු සහ ශ්‍රී ලංකා ස්වේඡා නාවික හමුදාවට කාන්තා නිලධාරීන් 08 දෙනෙකු ඇතුළුව බඳවා ගත් නවක නිලධාරීන් 21 දෙනෙකු වෙනුවෙන් පත්වීමේ ලිපි ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති තුමන් විසින් සිදු කරන ලදි. මෙහිදී නවක නිලධාරීන් ඇමතූ නාවික හමුදාධිපති තුමන්, එම නිලධාරීන් හට නාවික හමුදාව වෙනුවෙන් සුභපැතුම් එක් කරමින් නාවික හමුදාව වෙත උණුසුම් ලෙස පිළිගන්නා බව පවසන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති තුමන්, අද දිනයේ සිට මෙම නවක නිලධාරීන්ගේ ජීවිතයේ නව පැතිකඩක් විවර වන බවත් ඉදිරියේදී ඕනෑම අභියෝගයකට මුහුණ දියහැකි නාවික නිලධාරියෙකු ලෙස කායිකව හා මානසිකව හැඩගස්වන පුහුණුවක් ලබා දෙන බව මෙන්ම, දුෂ්කර සහ අභියෝගාත්මක පුහුණුව වඩාත් ශක්තිමත් නිලධාරියෙකු ඉදිරියේදී බිහි කරනු ඇති බවත් පවසන ලදි. එමෙන්ම නාවික හමුදා නිලධාරියෙකු ලෙස ඉදිරි නාවික ජීවිතය මහඟු අවස්ථාවන්ගෙන් සපිරි ඉතාමත් ඵලදායී ජීවිතයක් වනු ඇති බවත් එය සඵල කර ගැනීම සෑම නිලධාරියෙකු හා නිලධාරිනියකගේම පුද්ගලික උත්සාහය හා කැපවීම මත රදා පවතින බවත් ප්‍රකාශ කර සිටින ලදි. එමෙන්ම තමාගේ නාවික ජීවිතය අවංකභාවය, පක්‍ෂපාතීත්වය, කැපවීම සහ ධෛර්ය යන ප්‍රධාන ලක්‍ෂණයන් මත ගොඩනගා ගැනීමට අද දින පත්වීම් ලිපි ලබා ගන්නා ලද සෑම නිලධාරියෙකුම අධිෂ්ඨාන කර ගත යුතු බව අවධාරණය කල නාවික හමුදාධිපති තුමන් එය නාවික ජීවිතයේ සාර්ථකත්වයට මඟපාදන බව ද සඳහන් කරන ලදි. මෙහිදී මාතෘ භූමියට සේවය කිරීම සඳහා තම දරුවන් නාවික හමුදාවට භාරදුන් නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ ආදරණීය දෙමාපියන් වෙතද සිය හෘදයාංගම ස්තූතිය පුද කිරීමටද නාවික හමුදාධිපති තුමන් කටයුතු කරන ලදි.

තවද, පවතින කෙවිඩ් 19 අවදානම් තත්වය හමුවේ සෞඛය අංශ මගින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පවත්වන ලද මෙම පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ඉදුරාම බඳවාගත් නවක නිලධාරීන්ගේ දෙමාපියන් ද සහභාගි විය.