මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රියර් අද්මිරාල් මොහාන් ජයමහ අනුස්මරණ ස්මාරකය විවෘත කෙරේ

මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රියර් අද්මිරාල් මොහාන් ජයමහ, අභීත රණවිරුවා අනුස්මරණය කිරීම වෙනුවෙන් දඹුල්ල, දඹුලුගම මප/ගලේ/වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේ නාවික හමුදාව විසින් ඉදිකල අනුස්මරණ ස්මාරකය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 ජනවාරි 29) දින එම විදුහල් පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

රියර් අද්මිරාල් මොහාන් ජයමහ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී යාපනය, කයිට්ස් හි අරාලි තුඩුවේදී 1992 වර්ෂයේ අගෝස්තු මස 08 වන දින එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ අභීත රණවිරුවකු වන අතර, එම අභීත රණවිරුවා අනුස්මරණය කිරීම උදෙසා නාවික හමුදාව විසින් දඹුල්ල, දඹුලුගම මප/ගලේ/වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේ මෙම ස්මාරකය ඉදිකිරීමට කටයුතු කරන ලදි. නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකල මෙම ස්මාරකය සඳහා රියර් අද්මිරාල් මොහාන් ජයමහ රණවිරුවාගේ භාර්යාව, විනෝදා ජයමහ මැතිණිය ඇතුළු එම පවුලේ ඥාතීන් විසින් අනුග්‍රාහකත්වය ලබා දෙන ලදි.

රියර් අද්මිරාල් මොහාන් ජයමහ අභීත රණවිරුවා අනුස්මරණය කිරීම වෙනුවෙන් ඉදිකල ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාව සඳහා රියර් අද්මිරාල් මොහාන් ජයමහ රණවිරුවාගේ භාර්යාව, එම්. විනෝදා ජයමහ මැතිණිය, දඹුල්ල නගරාධිපති, උතුරු මැද නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරි, දඹුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේ විදුහල්පති අනුර බණ්ඩාර ලීලාරත්න මහතා, එම විද්‍යාලයේ ගුරුභවතුන් , සිසු දරුවන්, දෙමාපියන් මෙන්ම නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගීවි සිටියහ.