ගිණිකොන නාවික විධානය මගින් පාසල් උපකරණ ප්‍රදානය කිරීමක්

ගිණිකොන නාවික විධානය මගින් අම්පාර ප්‍රදේශයේ තෝරාගත් පාසල් කිහිපයක් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීමක් ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

COVID - 19 වසංගත තත්ත්වය රටපුරා පැතිරීමත් සමඟ ඉන් පීඩාවට පත් ජනතාවගේ ජීවන රටාව නංවාලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමාජ ක්‍රියාකාරකම් රාශියක් දියත් කරන ලදි. එහි තවත් එක් සමාජ සත්කාරයක් ලෙස සිදු කරන ලද මෙම පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනේදී අම්පාර ප්‍රදේශයේ ලාහුගල විහාර මහාදේවී ප්‍රාථමික විද්‍යාලය, ලාහුගල පරණ ගොවිපල විද්‍යාලය සහ හුලන්නුගේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සදහා 2021 නව පාසල් වාරය සඳහා අවශ්‍ය පොත්පත්, පාසල් බෑග් සහ එම විද්‍යාලයන් හි පුස්ථකාල සඳහා අවශ්‍ය පොත් මෙලෙස ප්‍රධානය කෙරිණි.

තවද, මෙම පරිත්‍යාගයන් ලබාදීම සඳහා වෛද්‍ය භාග්‍යා ගුණවර්ධන මහත්මිය සහ ඇයගේ පවුලේ ඥාතීන් මෙන්ම හිත මිතුරන්ද, ඉෂාන් ප්‍රනාන්දු මහතා සහ Rotary Capital city of Colombo සමාජයේ දායකත්වයද ලබා දෙන ලදි.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති මෙන්ම ලාහුගල විහාර මහාදේවී ප්‍රාථමික විද්‍යාලය, ලාහුගල පරණ ගොවිපල විද්‍යාලය සහ හුලන්නුගේ විද්‍යාලයේ විදුහල්පති වරුන් සහ ගුරු භවතුන් ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගීවී සිටියහ.