73 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද ‍(2021 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 73 වන නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වන ලදි.

අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතික ධජය එසවීමත් සමග ජාතික දින සැමරුම් උළෙල ආරම්භ කෙරිණි. එම අවස්ථාව සඳහා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩිය සූදානම් කිරීම නාවික හමුදාවේ සංඥා අංශයේ නාවිකයන් විසින් සිදුකරන ලද අතර, ජාතික ගීය සඳහා සංගීතය සැපයීම නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසින් සිදු කරන ලදි.

73 වන නිදහස් සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා නාවික හමුදා නිලධාරීන් 50ක් සහ නාවිකයින් 836 දෙනෙකුගෙන් යුත් අංශ හයක් (06) සහ නාවික හමුදාවේ ප්‍රධාන අවි සහ තාක්‍ෂණික උපාංගයන් ප්‍රදර්ශනය කෙරෙන රථ පෙළකින් යුතුව සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කොමදෝරු ඉසිර කාසිවත්ත සමස්ථ ආචාර පෙළපාලියේ පෙර ගමන් රථයේ ගමන් කරන ලදි.

ලුතිනන් කොමාණ්ඩර් දිමුතු තිසේරා විසින් නාවික හමුදා ධජය පෙරටු කර ගනිමින්, නාවික හමුදා සමූහ තූර්ය වාදක කණ්ඩායමේ රණ හඩ මධ්‍යයේ, නාවික හමුදාව, නාවික හමුදා බලඝන, විධාන සහ ආයතනයන් වෙත පිරිනමන ලද ජනාධිපති වර්ණ ධජ හයක් සහ, නාවික විධානයන්ට අයත් විධාන ධජ රැගත් නිලධාරීන් සමගින් ගමන් ගත් මෙම විචිත්‍රවත් ආචාර පෙළපාලිය සඳහා කොමාණ්ඩර් සු‍දේශ් චින්තක විසින් අණදීම සිදු කරන ලදි.

ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් හත් ගුණයක් විශාල, ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ සියළුම නීති විරෝධී කටයුතු මැඩපවත්වා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා දායක වන, වෙරළ කළාපයේ නිරන්තර නිරීක්‍ෂණ කටයුතු සිදුකරමින් ආරක්‍ෂක රාජකාරි සිදුකිරීමට දායක වන සහ ශ්‍රී ලංකාවට අයත් සෙවීම් සහ මුදවා ගැනීම් කලාපය තුල ආපදාවට පත්වන ධීවර සහ නාවික ප්‍රජාවට සහන සැළසීම සඳහා දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළු අංශයන් නියෝජනය කරමින් සැදුම්ලත් බලඝන සහ අංශයන් 73 වන නිදහස් උළෙලේ නාවික හමුදාවේ අභිමානය පිළිඹිබු කිරීම සදහා දායක විය.

නාවික හමුදා ආචාර පෙළපාලියේ ප්‍රථම බලඝනය ලෙස ගමන්ගත් නාවික හමුදා මූලස්ථාන බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් නලීන් ජයතිලක විසින් අණදීම සිදුකල අතර, වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අණදුන් 04 වන වේග ප්‍රහාරක බලඝනය ඇතුළුව සාගර කළාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවූ, නාවික දියත් විධානයේ බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් විතානගේ නිසංක විසින් අණදීම සිදු කෙරිණි. ‘විකුමතියට භාග්‍ය ප්‍රසාදිනිය වේ’ යන තේමාව රැගත්, මහ සයුර ගොඩබිම හා ගුවනේ සුවිශේෂී සටන් ක්‍රම පිළිබඳ විශිෂ්ඨයන් ඇතුලත්, 1993 වර්ෂයේ ස්ථාපිත නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කොමාණ්ඩර් රජිත කරුණාරන්න විසින් සිදු කරන ලදි.

එමෙන්ම ‘අනන්තයට එහා දිවෙන විජයග්‍රහණයක් කරා’ යන තේමා පාඨය රැගත් නොගැඹුරු මුහුදු කලාපයේ ආරක්‍ෂාව සඳහා කැපවූ 2007 වර්ෂයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කොමාණ්ඩර් දීක්‍ෂිත ධර්මසේන විසින් සිදුකල අතර, “ශක්තියෙන් නිර්භීතව ජයග්‍රහණය කරා” යන තේමාව රැගත් මහ සයුරෙන් සතුරු භූමිය වෙත භට පිරිස් ඇතුල් කිරීමේ විශේෂ හැකියාවක් ඇති 2016 වර්ෂයේ ස්ථාපිත නාවික හමුදා මැරින් බලඝණය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කොමාණ්ඩර් ලසිත් චාමර විසින් සිදු කෙරිණි. තවද, ශ්‍රීලංකා නාවික හමුදාවේ සියලුම අංශයන් නියෝජනය කරනු ලබන කාන්තා නාවික අංශය සඳහා ලුතිනන් කොමාණ්ඩර් ප්‍රදීපා රත්නායක විසින් ආචාර පෙළපාලියේ අණදීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ප්‍රධාන අවි සහ තාක්ෂණික උපාංග ප්‍රදර්ශනය කෙරෙන රථ පෙළපාලිය භාර නිලධාරී ලෙස කොමාණ්ඩර් මීපෙගමගේ කුමාර පෙරගමන් රථයේ ගමන් කල අතර, නාවික හමුදාවේ ප්‍රධාන අවියක් ලෙස භාවිතා කරනු ලබන ඇමරිකාවේ නිෂ්පාදිත සාගරය මතුපිට කිලෝ මීටර 8.5 දක්වා ඉලක්කයන් ගතහැකි මිලි මීටර 30 බුෂ් මාස්ටර් වර්ගයේ ස්ථායි අවිය සමඟ, ගුවන් මුහුදු සහ ගොඩබිම ඉලක්කයන් හඳුනා ගැනීම, ඉලක්ක ගතකිරීම, හා නිරීක්ෂණය සඳහා යොදාගන්නා එම්සිස් (MSIS) පද්ධතිය රැගත් රථය නාවික හමුදා රථ පෙළපාලියේ දෙවන රථය ලෙස ගමන් කෙරිණි.

නාවික හමුදාවේ වේග අවි නෞකා, ගැඹුරු මුහුදු නීරික්‍ෂණ ‍නෞකා සහ බහු කාර්යය ගැඹුරු මුහුදු නීරික්‍ෂණ ‍නෞකාවන්ගේ සවිකර ඇති සාගරය මතුපිට කිලෝ මීටර 10 දක්වා සහ ගුවනේ කිලෝ මීටර 7.2 දක්වා ඉලක්කයන් ගතහැකි මහජන චීන සමූහාණ්ඩුවේ නිෂ්පාදිත මිලි මීටර 37 වර්ගයේ අවිය රැගත් රථය තෙවන රථය ලෙස ගමන් කල අතර, වේග ප්‍රහාරක යාත්‍රා, වේග අවි නෞකා, ගැඹුරු මුහුදු නීරික්‍ෂණ ‍නෞකා සහ බහු කාර්යය ගැඹුරු මුහුදු නීරික්‍ෂණ ‍නෞකාවන්ගේ සවිකර ඇති චීනයේ හා බල්ගේරියාවේ නිෂ්පාදිත සාගරය මතුපිට මීටර 3400ත් 7500ත් අතර ද, ගුවනේ මීටර 1500ත් 2800ත් අතර ද ඉලක්කයන් ගතහැකි මිලි මීටර 14.5, මිලි මීටර 23 සහ මිලි මීටර 25 වර්ගයේ අවි ප්‍රදර්ශණය කරනු ලබන රථය ආචාර පෙළපාලියේ සිව් වන රථය ලෙස ගමන් ගන්නා ලදි.

තවද, ත්‍රිවිධ හමුදා විශේෂ බලකා වෙත කිමිදුම් පුහුණුව ලබාදෙන, දියයට ඉදිකිරීම්, අළුත්වැඩියා කිරීම්, පරීක්‍ෂා කිරීම් සහ මුහුදුබත් නෞකා ගොඩගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂඥ කිමිදුම් සහය ලබා දෙන, ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවික පුද්ගලයින්, කිමිදුම් උපාංග සහ කිමිදුම් කුටීරය සමඟ ගමන් කරන ප්‍රදර්ශනාත්මක රථයක්ද රථ පෙළපාලියේ ගමන් කෙරිණි.

නාවික හමුදාව 2006 වර්ෂයේ සිට නිපදවනු ලබන විශේෂ යාත්‍රා බලඝණයේ හා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ මෙහෙයුම් සඳහා යොදාගන්නා සෙඩ්රික් යාත්‍රාවන් ප්‍රදර්ශනය කෙරෙන රථයක් ද මෙම රථ පෙලපාලියේ ගමන් කෙරුණු අතර, නාවික හමුදාව විසින් මෙවැනි යාත්‍රා 150ක් මේ වන විට නිපදවීමටත් එම යාත්‍රාවන් 2016 වසරේ සිට විදේශයන් වෙතද අපනයනය කිරීමටත් කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා නාවික හමුදාව නෞකා තැනීමේ කර්මාන්තයට එක්වෙමින් 2008 වර්ෂයේ සිට නිශ්පාදනය කරනු ලබන වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්ෂක මුර යාත්‍රාව සහිත රථයක් ද රථ පෙළපාලිය සඳහා එක්කර තිබූ අතර, මෙම වේව් රයිඩර් යාත්‍රා නාවික හමුදාව විසින් විදේශයන් වෙත අපනයනය කිරීමට කටයුතු කරනු ලබන අතර, ඒ සඳහා විදේශයන් වෙතින් ඉතා ඉහළ ඉල්ලුමක් ද පවතී.

තවද, මෙම නිදහස් සැමරුම් උළෙල සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, විපක්‍ෂ නායක, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැති තුමන් සහ මැති ඇමති වරුන්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ. බස්නාහිර පලාත් අණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ, පොලිස්පති චන්දන වික්‍රමරත්න, ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හා රජයේ උසස් නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.