ගාලු මුවදොර ප්‍රථිසංස්කරණ කටයුතු සඳහා නාවික හමුදා දායකත්වය

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශය ක්‍රමවත්ව ප්‍රථිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Galle Face Green Project) යටතේ සිදු කෙරෙන ප්‍රථිසංස්කරණ කටයුතු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් අද (2021 පෙබරවාරි 08) දින නිරීක්‍ෂණය කරන ලදී.

ගාලු මුවදොර පිටිය හා අවට ප්‍රදේශය වැඩිදුරටත් අලංකරණය වන පරිදි ක්‍රමවත්ව ප්‍රථිසංස්කරණය කිරීම සඳහා නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වය ලබා දීමට සැළසුම් කර තිබේ. ඒ අනුව නාවික හමුදාව විසින් ප්‍රථිසංස්කරණය කිරීමට නියමිත ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශය අද (2021 පෙබරවාරි 08) දින අතිගරු ජනාධිපති තුමන් නිරීක්‍ෂණය කළ අතර, එම අවස්ථාව සදහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය. එම ප්‍රථිසංස්කරණ කටයුතු සැළසුම් කර ඇති පරිදි කඩිනමින් ආරම්භ කිරීමට අතිගරු ජනාධිපති තුමන් විසින් එහිදී උපදෙස් ලබා දෙන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා ගරු වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක, රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු රවීන්ද්‍ර මැදගොඩ, නාවික හමුදා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සිවිල් ඉංජිනේරු (සැළසුම්) කොමදෝරු රංජනී චන්ද්‍රසේකර ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

රජයේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” යටතේ සිදු කරනු ලබන විවිධ ව්‍යාපෘතීන් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ දායකත්වය අවශ්‍ය පරිදි කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස ලබාදීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.