ජ්‍යේෂ්ඨ නාවිකයින් 130 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 20 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 130 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 20 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ රුපියල් මිලියන 69 ක වටිනාකමකින් යුත් පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2021 පෙබරවාරි 18) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යේෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කිරීම වෙනුවෙන් නාවික සහන පදනම මගින් මෙම පොලී රහිත ණය මුදල ප්‍රදානය කිරීම ආරම්භ කරන ලද අතර, ජ්‍යේෂ්ඨ නාවිකයින් 3524 දෙනෙකු සඳහා මේ වන විට මෙම ණය මුදල ලබා දීම සිදු කර ඇත. තවද, කණිෂ්ඨ නාවිකයින් සඳහාද මෙම පොලී රහිත ණය මුදල ලබා දීම 2020 සැප්තැම්බර් මස සිට ආරම්භ කරන ලද අතර, මේ වන විට කණිෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා ණය මුදල ලබා දීම සිදු කරන ලදි. එසේම, ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යේෂ්ඨ නාවිකයන් 1998 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 19 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.