අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ දේශනය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 19 වන දින බත්තරමුල්ල, සුහුරුපායෙහි පැවති අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ දේශනය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනය මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබන ත්‍රිවිධ හමුදාවේ සේවය කර මියගිය යුධ උපාය කෞෂල්‍යයෙහි විශිෂ්ඨයින් අනුස්මරණය කිරීමේ දේශනය, මෙවර ශ්‍රී ලංකා නාවික හමුදාවේ 11 වන නාවික හමුදාධිපති වශයෙන් සේවය කරමින් සිටියදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්ව රට වෙනුවෙන් දිවිපිදූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු ‍ අනුස්මරණය කිරීම සඳහා සංවිධානය කර තිබූ අතර, එම අනුස්මරණ දේශණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ 16 වන නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ අද්මිරාල් (විශ්‍රාමික) තිසර සමරසිංහ විසින් සිදු කරන ලදි.

1957 වර්ෂයේදී රාජකීය ලංකා නාවික හමුදාවට ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස එක් වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු, සිය සේවා කාලය තුළ ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් මගින් දියත් කළ ක්‍රියාන්විත ගණනාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ යුධ උපාය කෞෂල්‍යයෙන් පිරිපුන් අභිත නාවික සෙන්පතියෙකි.1991 වර්ෂයේ නොවැම්බර් මස 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 11 වන නාවික හමුදාධිපති වශයෙන් පත් වූ එතුමන්, 1992 නොවැම්බර් මස 16 වන දින සිය නිල රථයෙන් නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණෙමින් සිටින අතරතුරදී එල්ල වූ මරාගෙන මැරෙන එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයක් හමුවේ සිය ජීවිතය ජාතිය වෙනුවෙන් පුද කරනුයේ දශක තුනක් පුරා මෙරට වෙලාගත් රුදුරු ත්‍රස්තවාදය පිටුදැක රටේ ඒකීයභාවය සුරක්‍ෂිත කිරීම සඳහා රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ජ්‍යේෂ්ඨතම ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදා නිලධාරියා ලෙස ඉතිහාසට එක් වෙමිනි.

මෙම අනුස්මරණ දේශනය සඳහා අද්මිරාල් (මියගිය) ක්ලැන්සි ප්‍රනාන්දු නිලධාරීතුමාගේ ආරණීය බිරිඳ සහ පුතනුවන්, මහජන ආරක්‍ෂක අමාත්‍ය, රියර් අද්මිරිල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර, විශ්‍රාමික නාවික හමුදාධිපතිවරුවන් වන වත්මන් විදේශ අමාත්‍යංශයේ ලේකම් සහ ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ, රියර් අද්මිරල් (විශ්‍රාමික) බැසිල් ගුණසේකර, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි, විශ්‍රාමික සහ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශීය ආරක්‍ෂක උපදේශකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද සහභාගී වී සිටියහ.