නාවික හමුදාව විසින් ඉදි කළ 821 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මැල්සිරිපුර, උමන්දාව මහා විහාර ආශ්‍රම පරිශ්‍රයේදී ජනතා අයිතියට පත් කෙරේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලද තවත් සමාජ සත්කාරයක් ලෙස ඉදි කළ 821 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මැල්සිරිපුර, උමන්දාව මහා විහාර ආශ්‍රම පරිශ්‍රයේ දී අද (2021 පෙබරවාරි 24) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස 2020 නොවැම්බර් මස 27 වන දින මෙම 821 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් ආරම්භ ‍කරන ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් වැඩ නිම කරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින්, උමන්දාව මහා විහාර ආශ්‍රමය වෙත පැමිණෙන බැතිමතුන්ගේ මෙන්ම මඩහපොල ග්‍රාමසේවා වසමට අයත් ජනතාවගේ සහ අවට ගම්වාසීන්ගේ ද පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. උමන්දාව මහා විහාර ආශ්‍රමයේ නිර්මාතෘ හා විහාරාධිපති පිටිදූවේ සිරිධම්ම ස්වාමීන්වහන්සේගේ ආරාධනයෙන් මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් සිදු කරන ලද අතර, එම ආශ්‍රමයෙහි අභිනවයෙන් ඉදිකරන ලද ‘සීත මාලිගය’ සසුනට පූජා කිරීම ද මීට සමගාමීව නාවික හමුදාධිපතිතුමන් විසින් සිදු කෙරිණි.

පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් පැවති මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා උමන්දාව මහා විහාර ආශ්‍රමයේ නිර්මාතෘ හා විහාරාධිපති, පිටිදූවේ සිරිධම්ම ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමවා වදාල අතර, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න, වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක්, වයඹ පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගීවී සිටියහ.