සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩවර්ජනය හේතුවෙන් රෝහල් වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නාවික හමුදා සහය

රෝහල් කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදු වන අපහසුතා මඟ හරවා ගැනීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීම සඳහා නාවික හමුදා වෛද්‍ය අංශයේ සාමාජිකයින් ඇතුලුව නාවික හමුදා පුද්ගලයින් යොමු කිරීමට කටයුතු කරන ලදි .

2021 පෙබරවාරි 24 වන දින සිට රෝහල් කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් අරඹා ඇති මෙම වැඩ වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දිවයිනේ ප්‍රදේශ රැසක රෝහල් වෙත අනුයුක්ත කර ඇත. ඒ අනුව නාවික හමුදා වෛද්‍ය සහයක නාවිකයින් ඇතුළු නාවික පුද්ගලයින් 89 ක් වැලිසර ළය රෝහල, මහව රෝහල, මීගමුව රෝහල, ගාල්ල මහමෝදර රෝහල, උඩුගම රෝහල, ඇල්පිටිය රෝහල, බලපිටිය රෝහල, දෙඹරවැව රෝහල සහ තංගල්ල රෝහල යන රෝහල් වෙත මේ වන විට අනුයුක්ත කර ඇත.

තවද, රටේ ඇති වන ඕනෑම හදිසි තත්වයක් හමුවේ මහජනතාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.