නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ගාල්ල, ඉමදූව පරගොඩ ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාල ගොඩනැගිල්ලක්

නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ගාල්ල, ඉමදූව පරගොඩ ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විද්‍යාලයේ ඉදි කරන ලද නව පුස්තකාල ගොඩනැගිල්ල දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 25 වන දින සිසු අයිතියට පත් කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන්හි තවත් එක් පියවරක් ලෙස ඉදි කරන ලද මෙම අභිනව පුස්තකාල ගොඩනැගිල්ල, ඇමරිකාවේ පදිංචි ව්‍යාපාරික ඩිලාන් ආරියවංස මහතාගේ සහ‍ පවුලේ මූල්‍ය දායකත්වය සහ නාවික හමුදා ශ්‍රම දායකත්වය මත 2021 ජනවාරි 19 වන දින ඉදිකිරීම් ආරම්භ කරන ලදි. කඩිනමින් වැඩ අවසන් කිරීමෙන් පසු මෙම පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීම පෙබරවාරි 25 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සහ ඩිලාන් ආරියවංස මහතාගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ අතර, එමගින් පාසලේ සිසුන් හට පැවති ප්‍රධාන අවශ්‍යතාවයක් සපුරාලීමට හැකියාව ලැබිණි.

පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් පැවති මෙම පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සදහා දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ තෙන්නකෝන්, ශ්‍රීලංනානෞ දක්‍ෂිණ ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහ පාසලේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් ද සහභාගී වී සිටියහ.