නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහනක්

‘අභියෝග කිරීමට තෝරා ගනිමු’ යන තේමාව පෙරදැරිව මෙවර මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කාන්තා දින සැමරුම් වැඩසටහනක් සහ ඊට සමගාමීව ‘සිඳුලිය’ නමින් සඟරාවක් එළිදැක්වීම අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 08 වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයක් මත සංවිධානය කරනු ලබන මෙවර නාවික හමුදා සේවා වනිතා කාන්තා දින සැමරුම් වැඩසටහන සඳහා කාන්තාවන්ගේ රුචිකත්වය අනුව ඔවුන්ගේ දැනුම සහ තුසලතාවය ඔප්නැංවීමේ අරමුණින් දිනය පුරා ප්‍රවීන සූපවේදී දේශබන්දු ටී පබිලිස් සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් සූපශාස්ත්‍ර වැඩමුළුවක් ඇතුළු තවත් ප්‍රවීන සම්පත් දායකයන්ගේ සහභාගීත්වයෙන් රූපලාවන්‍ය වැඩසටහනක් සහ අත්කම් නිර්මාණ වැඩසටහනක් ද පැවැත්වේ. තවද, මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා විසින් සංස්කරණය කරන ලද ‘සිඳුලිය’ නමින් සඟරාවක් ද නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලට සමගාමීව එළිදැක්වීමට නියමිතය.

කාන්තාව මිනිසාගේ ජීවන ගමනට අත්වැල වෙමින් පවුලට, සමාජයට, රටට සහ ලෝකයට සිදු කරන සුවිශේෂි කාර්යභාරය මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේදී ඇගයීමට ලක් කරන අතර, ඊට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන කාන්තා දින සැමරුම් වැඩසටහන මගින් නාවික හමුදා සේවයේ නියුක්ත කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයින්ගේ මෙන්ම නාවික පුද්ගලයින්ට ශක්තියක් හා දිරියක් වන ඔවුන්ගේ භාර්යාවන්‍‍ගේ ද නිහඬ සේවය නාවික හමුදාව විසින් ඇගයීමට ලක් කරයි.