ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාව හා එක්ව ගුවන් නිරීක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රීලංකා ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාවට අයත් සමුද්‍ර නීරීක්‍ෂණ ගුවන් යානාවක් (Dornier Aircraft) මගින් ගුවන් නිරීක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් 2021 මාර්තු 02 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ අනන්‍ය ආර්ථික කලාපය ආවරණය වන පරිදි කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් නිරීක්‍ෂණ වාර 04 ක් සිදු කරමින් මෙම ගුවන් නිරීක්‍ෂණ පුහුණු අභ්‍යාසය පවත්වන ලද අතර, මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගුවන් නිරීක්‍ෂකයින් හත් දෙනෙක් (07) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නිරීක්‍ෂකයින් සිව් දෙනෙක් (04) සහභාගී විය. ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ මෙන්ම සෙවීම් සහ මුදවාගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන ධීවර සහ නාවික ප්‍රජාවට සහන සැලසීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර දායකත්වය ලබා දෙයි. ඒ අනුව, ඉදිරි ආපදා සහන මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව සාර්ථකව සිදු කිරීම සඳහා මෙවැනි පුහුණු අභ්‍යාසයන් මහත් පිටුවහලක් වනු ඇත.

තවද, ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරනු ලබන ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගිතාවය ඉහල නැංවීමටද මෙවැනි පුහුණු අභ්‍යාසයන් ඉවහල් වේ.