නාවික හමුදාව මගින් උතුරේ දූපත් ආශ්‍රිත පාසල් දූදරුවන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කෙරේ

උතුරු නාවික විධානය මගින් යාපනය අර්ධද්වීපයේ දූපත්වාසි පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කල පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 14 වන දින මණ්ඩතිවු දූපතේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් මණ්ඩතිවු දූපතේ ශාන්ත ෆැන්සිස් දේවස්ථානයේ සහයෝගය ඇතිව උතුරු නාවික විධානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී යාපනය අර්ධද්වීපයේ මණ්ඩතිවු, පුංගුඩුතිවු සහ කයිට්ස් යන දූපත් ආශ්‍රිත දුෂ්කර පාසල් කිහිපයකට අයත් ප්‍රාථමික අංශයෙහි ඉගෙනුම ලබන දූදරුවන් 70 දෙනෙකු සඳහා පාසල් බෑග්, පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කිරීමක් මෙහිදී සිදු කෙරිණි.

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම සමාජ සත්කාරක වැඩසටහන මණ්ඩතිවු ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයේ ප්‍රධාන දේවගැති ඩේවිඩ් එමැනුවල් පිල්ලේ පියතුමාගේ සහ ප්‍රදේශයේ ගුරුභවතුන්ගේ මෙන්ම දෙමව්පියන්ගේද පැසසුමට ලක්විය.

මෙම අවස්තාව සඳහා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ඇතුළු උතුරු නාවික විධානයට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් පිරිසක් මෙන්ම ප්‍රදේශයේ ගුරුභවතුන් සහ සිසු දරුවන්ගේ දෙමාපියන්ද සහභාගී වී සිටියහ.

+