නාවික හමුදාව මගින් නැවත සකස් කරන ලද පැදි යාත්‍රාවක් කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත පරිත්‍යාග කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ සහන සත්කාර ඒකකය (Palliative Care Unit) සඳහා පසුගිය වසරේදී ඉදිකරන ලද නව වාට්ටු සංකීර්ණයට වසරක් සපිරීම නිමිත්තෙන් එම රෝහල මඟින් සංවිධානය කරන ලද වැඩසටහනකදී එම වාට්ටු සංකීර්ණයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික සුවතාවය සඳහා නාවික හමුදාව මගින් නැවත සකස් කරන ලද පැදි යාත්‍රාවක් පරිත්‍යාග කිරීම දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රදානත්වයෙන් 2021 මාර්තු 18 වන දින සිදු කෙරිණි.

මෙම වාට්ටු සංකීර්ණයෙහි ප්‍රතිකාර ලබන සුවකළ නොහැකි දරුණු රෝගයන්ගෙන් පෙළෙන රෝගීන්ගේ මානසික සුවතාවය සඳහා PD Fly Marine ආයතනයේ හිමිකරු වන ජේඑල් කරුණාරත්න මහතා විසින් ලබා දෙන ලද යාත්‍රාවක් දකුණු නාවික විධානයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ පැදි යාත්‍රාවක් ලෙස නැවත සකස් කිරීමෙන් පසු මෙලෙස කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම දකුණු නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, රෝහලේ වෛද්‍ය සහ කළමනාකරණ කාර්ය මණ්ඩලය, පරිත්‍යාගශීලීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වී සිටියහ.