ශ්‍රී ලංකා නාවික හමුදාවේ 17 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 27 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 17 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් නාවික තාක්‍ෂණික ආයතනයේ සිදුකළ මුලික පුහුණුව සාර්ථකව නිමකර විසිර යාමේ පෙළපාලිය අද (2021 මාර්තු 23) දින වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් සනත් උත්පල ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන නාවික තාක්ෂණික ආයතනයේ නාවික තාක්‍ෂණික පාඨමාලාව හැදෑරූ ශිල්පීය අංශයේ නාවිකයින් 27 දෙනෙක් අද (2021 මාර්තු 23) දින විසිර ගිය අතර, එහිදී මූලික පුහුණු කාලසීමාව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත කුසලාන ප්‍රදානය කිරීම ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 17 වන ශිල්පීය බඳවා ගැනීමේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස විදුලි ශිල්පී පීඑම්එස් ශ්‍රීමාල් විසින් ද, දක්ෂතම ඉලක්කකරු ලෙස ආධුනික ගුවන් විදුලි විද්‍යුත් ශිල්පී අයිජීකේ ශාමිල්ක විසින් ද, දක්ෂතම ආධුනික නාවිකයා ලෙස එන්ජින් කාර්මික ශිල්පී ඩබ්එම්ජීජීජේඊ වලිසුන්දර විසින් ද මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් කුසලාන හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායම සහ සංස්කෘතික කණ්ඩායමේ සංදර්ශනයකින් විචිත්‍රවත් වූ මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා නාවික හමුදා මූලස්ථානයේ, බටහිර නාවික විධානයේ සහ වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගීවී සිටියහ.