නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නාවික හමුදාධිපති හමුවෙයි

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස 2021 මාර්තු මස 21 දින පත්වීමෙන් පසු, නාවික හමුදා මූලස්ථානයේදී අද (2021 මාර්තු 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන 1986 පෙබරවාරි 28 වන දින 14 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් විය.

දියයට සංග්‍රාම පිළිබඳ විශේෂඥයකු ලෙස සැලකෙන ඔහු සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නෞකා, යාත්‍රා සහ ගොඩබිම ආයතනයන්හි අණදෙන හා අණභාර නිලධාරියෙකු වශයෙනුත්, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, විනයාරක්‍ෂාධිපති, අධ්‍යක්‍ෂ ක්‍රීඩා, වැලිසර නාවික සංකීර්ණයේ නාවික අණභාර නිලධාරී, නාවික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්‍ෂක, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල සහ නාවික හමුදාධිපතිගේ නාවික සහායක වශයෙන්ද කටයුතු කර ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයේ වොශින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන්ද රාජකාරි සිදු කරන ලදී.

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන බටහිර නාවික විධානයේ ආඥාපති ධූරයෙහි කටයුතු කරන අතරතුර, 2021 මාර්තු මස 21 වන දින සිට නාවික හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරන ලද අතර, ඒ අනුව ඔහු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට අමතරව බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන්ද තවදුරටත් කටයුතු කරනු ලබයි.