OCEANLUST විද්‍යුත් සඟරාව මගින් සංවිධානය කරන 2021 වර්ෂයේ ප්‍රථම කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහන නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

OCEANLUST විද්‍යුත් සඟරාව මඟින් සංවිධානය කරන ලද 2021 වර්ෂයේ ප්‍රථම කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 මාර්තු 27) උස්වැටකෙයියාව Malima Club House උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, මෙම වැඩසටහනේදී කැළණි ගං මෝයේ සිට උතුරු දෙ‍සට විහිදෙන ස්වාභාවික කොරල් පරය සහ වෙරළ තීරය පිරිසිදු කිරීම සිදුකරන ලදි.

සාගරයට එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ඉවත්කර පිරිසිදු සාගර පරිසරයක් පවත්වා ගැනීම අරමුණු කරගනිමින් OCEANLUST සාගරික විද්‍යුත් සඟරාවේ මූලිකත්වයෙන් මෙම කොරල්පර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගෙන් සැදුම්ලත් Men in Whites සංවිධානයේ සාමාජිකයින්ද සෘජු දායකත්වය ලබා දෙනු ලබයි.

නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේදී නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් කැළණි ගං මෝයේ සිට උතුරට දෙ‍සට විහිදෙන ස්වාභාවික කොරල් පරයේ රැදී ඇති ප්ලාස්ටික්, පොලිතීන් වැනි අපද්‍රව්‍ය පිරිසිදු කිරීමට කටයුතු කළ අතර, මෙම වැඩසටහනට සමඟාමීව උස්වැටකෙයියාව සිට ප්‍රීතිපුර ප්‍රදේශය දක්වා වූ කිලෝමීටර 05ක පමණ දුරකින් යුත් වෙරළ තීරය ද පිරිසිදු කිරීම Men in Whites සංවිධානයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කලමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය හා රාජ්‍ය නොවන විවිධ සංවිධාන නියෝජනය කරමින් පැමිණි පිරිස් සහ ප්‍රදේශ වාසීන්ගේ දායකත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්තාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනිය, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගී වී සිටින ලදී.

වෙරළ හා සමුද්‍ර සම්පත්වල වටිනාකම් පසක් කරලමින් පොදු ජනතාවගේ ආකල්පමය පිබිදීමක් ඇති කිරීමේ හා වෙරළ පවිත්‍ර කිරීමට ප්‍රජා දායකත්වය ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව නාවික හමුදාව දිවයින වටා වෙරළ තීරයන් පිරිසුදු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා අනෙකුත් රාජ්‍ය ආයතන, ‍සිවිල් සංවිධාන විසින් සංවිධානය කරනු ලබන මෙවැනි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ද නාවික හමුදාව කටයුතු කරනු ලබයි.