“හරිත ටීවී” දියත් කිරීමේ උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

කොළඹ හුනුපිටිය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව මගින් ආරම්භ කරන ලද “හරිත ටීවී” රූපවාහිණී නාලිකාවෙහි මංගල විකාශනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (2021 මාර්තු 31) උත්කර්ශවත් අයුරින් එම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.

දේශීය කෘෂිකර්මාන්තය යලි නගාසිටුවීම සඳහා ඒ හා බැඳුනු කෘෂී සංස්කෘතිය, සම්ප්‍රදායන්, දැනුම මෙන්ම වෙළදපොල ආදි ක්‍ෂේත්‍රයන් පිළිබඳ තොරතුරු කෘෂිකාර්මික රූපවාහිනි නාලිකාවක් තුළින් ජනතාව වෙත සංනිවේදනය කිරීම මෙම “හරිත ටීවී” නාලිකාව මගින් අපේක්‍ෂා කෙරේ. ඒ අනුව හුනුපිටිය, ගංගාරම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් විසින් නාවික හමුදාධිපතිගෙන් කළ ඉල්ලීමකට අනුව “හරිත ටීවී” රූපවාහිණී නාලිකාවේ දෙමහල් මෙහෙයුම් මැදිරි ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මෙන්ම එහි තෙමහල් පරිපාලන මැදිරි ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ද මේ වන විට නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරෙමින් පවතී.

තවද මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරන තෙක් මෙම රූපවාහිණි නාලිකාවේ විකාශන කටයුතු සිදුකරගෙන යාම සඳහා තාවකාලිකව ස්ථානයක්, හුනුපිටිය, ගංගාරම විහාරස්ථානයේ ඉදිකිරීම සඳහාද නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඒ අනුව අද දින එම ස්ථානයේ සිට “හරිත ටීවී” රූපවාහිණී නාලිකාවේ මංගල විකාශන කටයුතු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සුරතින් මෙලෙස ආරම්භ කෙරිණි.

මෙම මංගල විකාශන උත්සවය සඳහා ගරුතර මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, රජයේ නිලධාරීන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වී සිටියහ.