නාගදීප රජමහා විහාරයේ ඉදිකළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමි අනුස්මරණ තෙමහල් විශ්‍රාම ශාලාව නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරයේ ඉදි කළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමි අනුස්මරණ තෙමහල් විශ්‍රාම ශාලාව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න‍ මැතිනියගේ සහභාගීත්වයෙන් අද (2021 අප්‍රේල් 03) විවෘත කරන ලදි.

නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමියන්ගේ 18 වන ගුණානුස්මරණ පිංකම වෙනුවෙන් නාවික හමුදා පූර්ණ ශ්‍රමදායකත්වයෙන් ඉදි කළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමි අනුස්මරණ තෙමහල් විශ්‍රාම ශාලාව අද දින මෙලෙස විවෘත කෙ‍රුණු අතර, එමගින් නාගදීප පුරාණ රජමහා විහාරය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ගරුතර මහා සංඝරත්නය සහ බැතිමතුන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් පහසුවෙන් සළසා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. තවද, නාගදීප පුරාණ රජමහා විහාරය වැඳපුදාගත් නාවික හමුදාධිපති එහිදී සංඝයා වහන්සේ 20 නමක් විෂයෙහි දහවල් දානය පූජා කිරීමේ පුණ්‍යකර්මය සඳහා ද දායක විය.

තවද, මීට සමගාමීව නාවික හමුදාව විසින් නයිනතිව් දූපත්වාසීන් වෙත දිවා ආහාර ලබාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් සහ නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමි විසින් එම දූපතේ දක්‍ෂතා දැක්වූ පාසල් සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න‍ මැතිනිය ද සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා රුවන්වැලි මහාසෑයේ විහාරාධිපති අතිපුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපානන් ප්‍රමුඛ මහා සංඝරත්නය, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය, නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජේපී ප්‍රේමරත්න ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, නාවිකයින් සහ බැතිමතුන් පිරිසක් සහභාගිවී සිටියහ.