නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2021 අප්‍රේල් මස 03 වන දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනියද සහභාගී විය.

මෙම සංචාරයේදී උතුරු නාවික විධානයේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු පිළිබඳව නාවික හමුදාධිපති විසින් අධීක්‍ෂණය කරන ලදි. ඒ අනුව, උතුරු නාවික විධාන මෙහෙයුම් මැදිරිය නාවික හමුදාධිපතිගේ නිරීක්‍ෂණයට ලක් වූ අතර, උතුරු නාවික විධාන මූලස්ථානයේදී විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නෞකා හා යාත්‍රාවන්හි අණදෙන/ අණභාර නිලධාරීන් ඇමතීමට නාවික හමුදාධිපති කටයුතු කරන ලදි. එහිදී උතුරු මුහුද ආශ්‍රිතව සිදු විය හැකි මත්ද්‍රව්‍ය හා වෙනත් ජාවාරම් වැලැක්වීම සඳහා දැඩි අවධානයෙන් මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කළ යුතු බවත්, අනවසර විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැලැක්වීම සඳහා ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසටත් නාවික හමුදාධිපති විසින් අවධාරණය කර සිටින ලදි. එමෙන්ම නාගදීප රජමහා විහාරය ‍කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත 2021 රාජ්‍ය වෙසක් උත්සවය සාර්ථක කර ගැනීම උදෙසා නාවික හමුදාව වෙතින් ලබා දිය යුතු දායකත්වය පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දීමටද නාවික හමුදාධිපති විසින් මෙහිදී කටයුතු කෙරිණි.

එසේම, දියත් විධානයට අයත් නාවිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදි කරන ලද තෙමහල් කනිෂ්ඨ නාවික නිවාස ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදී විවෘත කෙරිණි. උතුරු නාවික විධානයට අනුයුක්ත නෞකා හා යාත්‍රාවන්හි රාජකාරියේ නියුතු නාවිකයින් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් පුළුල් කිරීමේ අරමුණෙන් සාදා නිම කරන ලද මෙම තෙමහල් ගොඩනැගිලෙහි ඉදිකිරීම් සඳහා දායක වූ නාවික පුද්ගලයන් වෙත සිය ප්‍රශංසාව පල කර සිටීමටද නාවික හමුදාධිපති විසින් එහිදී කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා 70 වන සංවත්සරයට සමගාමීව සියලුම නාවික පුද්ගලයන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් ක්‍රියාත්මක කරනු ලබන තෝරාගත් අඩු පහසුකම් සහිත පාසල් තුළ අත්‍යවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ උතුරු නාවික විධානය තුළ සංවර්ධනය සඳහා තෝරාගත් යාපනය, මණ්ඩතිව් දූපතේ රෝමානු කතෝලික විද්‍යාලය නිරීක්‍ෂණය සඳහා ද මෙම සංචාරය තුළදී නාවික හමුදාධිපති සහභාගී විය. එහිදී එම විදුහලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් නාවික හමුදාධිපති පිළිගැනීමට කටයුතු කළ අතර, නාවික හමුදාව මගින් එම විදුහලේ සිදු කිරීමට අපේක්‍ෂිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව විදුහල් ආචාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට හා උතුරු නාවික විධානයේ ආඥාපති වෙත අවශ්‍ය උපදෙස් ලබා දීමට නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.

එමෙන්ම, නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ ඉදි කරන ලද තෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කිරීමද නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම අවස්ථාවන් සඳහා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය, නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජේපී ප්‍රේමරත්න ඇතුළු නාවික හමුදා මූලස්ථානයට සහ උතුරු නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගිවී සිටියහ.