ආරක්‍ෂක ලේකම් කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වේ

ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න 2021 අප්‍රේල් 05 වන දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරතවූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

මෙම නිරීක්‍ෂණ චාරිකා වාරයේදී ආරක්‍ෂක සේවා විද්‍යාලයේ අභිනව නේවාසිකාගාර සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක ලේකම්, එම ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙරිණි. තවද, ආරක්‍ෂක සේවා විද්‍යාලයේ ප්‍රාථමික හා ද්විතීක අංශයන්ට අයත් ගොඩනැගිලි, පොදු පහසුකම් ගොඩනැගිල්ල සහ පරිපාලන ගොඩනැගිල්ලද ආරක්‍ෂක ලේකම් ගේ නිරීක්‍ෂණයට ලක් විය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, ආරක්‍ෂක සේවා විද්‍යාලයේ අධ්‍යක්‍ෂ, ආරක්‍ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.